ජංගම දුරකතනයෙන් අසැබි දසුන් නරඹන්නේ බලා ගෙනයි!

  • 2015 සැප්තැම්බර් 8
Image caption ඩොලර් 500ක කප්පම් මුදලක් ලබා දෙන ලෙස තිරය මත පණිවුඩයක්

කප්පම් ලබා ගැනීමේ අරමුණින් සලසන ලද ඇනරොයිඩ් වර්ගයේ ජංගම දුරකථන මෘදුකාංගයක් සොයා ගත් බව පරීක්ෂණ කණ්ඩායමක් පවසයි.

ඉහත කී මෘදුකාංගය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹිය හැකි බවයි ස්කේලර් පරිගණක ආරක්ෂණ සමාගමේ පර්යේෂකයන් කියා සිටියේ.

ජංගම දුරකතනයේ ඉදිරිපස ඇති කැමරාව ඔස්සේ මෙම මෘදුකාංගය භාවිතා කොට අසභ්‍ය දර්ශන නරඹන පුද්ගලයන්ගේ ඡායාරූප ගෙන තිබේ.

ඉන් අනතුරුව ජංගම දුරකතනය අක්‍රිය කොට ඩොලර් 500ක කප්පම් මුදලක් ලබා දෙන ලෙස තිරය මත පණිවුඩයක් තබන බවයි පර්යේෂකයන් සඳහන් කළේ.

'සයිබර් අපරාධ වර්ධනය'

Image caption සති දහයක් වැනි කෙටි කාලයක් තුළ ඩොලර් 75000 ක්

ජංගම දුරකතන, ටැබ් සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතා කරන පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු භාවිතා කොට කප්පම් ඔස්සේ මුදල් රැස් කිරීම ඉහළ යමින් තිබෙන බවයි පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසන්නේ.

2014 වසරේ සිට ඉහත කී සයිබර් අපරාධවල 127% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ස්කේලර් පරිගණක ආරක්ෂණ සමගම කියා සිටියේය.

පරිගණක සහ ලැප්ටොප් භාවිතා කරන්නන් බොහෝ විට එවැනි අපරාධවල ඉලක්කය වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘මේ තත්වය වර්ධනය වීමට එක් හේතුවක් තමයි මේ ඔස්සේ ඉතා පහසුවෙන් මුදල් හම්බ කිරීමට හැකි වීම’ඉන්ටෙල් ආරක්ෂණ සමාගමේ නිලධාරියකු වන රාජ් සමානි පැවසුවේය.

'පහසුවෙන් මුදල්'

සති දහයක් වැනි කෙටි කාලයක් තුළ ඩොලර් 75000 ක් රැස් කළ කප්පම් ලබා ගන්නා කණ්ඩායමක් සොයා ගත් බවත් ඔහු කියා සිටියේය.

Image copyright Thinks tock
Image caption පෞද්ගලික ලිපිගොනු මකා දමන බවට තර්ජන

‘මෙවැනි මෘදුකාංග රඳා පවතින්නේ අපහසුතාවයට පත් කර වීම කියන කාරණය මතයි. මුදල් නොගෙව්වොත් ඔබේ නම කැත වෙනවා’

‘ඔබගේ ඉලෙක්ට්‍රොනික උපාංගය තුළ තිබෙන ඡායාරූප, වීඩියෝ, සහ ලිපිලේඛන මකා දමනවා කියලා ඇතැම් මෘදුකාංග තර්ජනය කරනවා. ඒ නිසා ඔබ සතු දත්තවල පිටපත් ගබඩා කර තබන්න. ඔබ මෙහි ඉලක්කයක් වුවහොත් පරිගණක පද්ධතිය සම්පුර්ණයෙන් මකා දමා නැවත අලුත් පද්ධතියක් පිහිටුවන්න’

මෙවැනි මෘදුකාංගයක් පිළිබඳ දැක්වෙන ඊමේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසත් ඉන්ටෙල් ආරක්ෂණ සමාගමේ නිලධාරියකු වන රාජ් සමානි වැඩිදුරටත් කියා සිටියේය.