'සරණාගතයන්ට සලකන්නේ සතුන්ට වගේ'

Image copyright Reuters
Image caption "පොලිස් නිලධාරීන් ප්ලාස්ටික් බෑග් වල ඔතපු සැන්විච් සහ පාන් කඳවුර ඇතුළේ එකතු වෙලා ඉන්න සෙනග දෙසට විසි කරන්න පටන් ගත්තා."

හංගේරියාවේ සරණාගත කඳවුරක වැටෙන් එපිට සිට පොලිසිය විසින් කඳවුර තුළට ආහාර විසි කරන ආකාරය දැක්වෙන ඉතාමත් සංවේදී වීඩියෝ පටයක් නිකුත් වී තිබේ.

වීඩියෝ පටය පටි ගත කළ ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාව කියා සිටින්නේ අනාථයන් සැලකුම් ලබන්නේ සතුන්ටත් වඩා පහත් ලෙස බවයි.

මෙවැනි දුක්ඛිත තත්වයකට පත්ව සිටින සංක්‍රමණිකයන් වෙනුවෙන් සිය දේශ සීමා විවෘත කරන ලෙසයි ඇය යුරෝපා රටවලින් ඉල්ලා සිටින්නේ.

Image copyright Reuters

“පොලිස් නිලධාරීන් ප්ලාස්ටික් බෑග් වල ඔතපු සැන්විච් සහ පාන් කඳවුර ඇතුළේ එකතු වෙලා ඉන්න සෙනග දෙසට විසි කරන්න පටන් ගත්තා, සමහරක් පිරිමින් කොහොම හරි ලබා ගන්න පුළුවන් වෙච්ච කෑම එතන අයිනේ හිටපු දරුවන්ටයි ළමයින්ටයි දෙනවා දැක්කා, ඔවුන් ඒ කෑම එතනම දිග ඇරගෙන කෑවා, සමහර දරුවෝ වැටේ එල්ලිලා ඉහලට නගින්න උත්සාහ කෙරුව කොහොම හරි විසි කරන දෙයක් අල්ල ගන්න උත්සාහ කරමින්” සිදුවීම විස්තර කරමින් ඇය කියා සිටියාය.

'සතුන් රැළක් මෙන්'

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ අධ්‍යක්ෂකවරයකු පැවසුවේ මෙම සංක්‍රමණිකයන් කූඩු වල සිර කරන සතුන් රැලක් මෙන් ගාල් කර ඇති බවයි.

මේ අතර යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන් රටවල් අතර බෙදා ගැනීමේ අනිවාර්ය කොටා ක්‍රම යෝජනාව මධ්‍යම යුරෝපා සංගම් අමාත්‍යවරු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජර්මනියේ සහය ඇතිව ඉදිරිපත් කෙරුණු කෝටා ක්‍රමයේ යෝජනාව වූයේ වසරකට සංක්‍රමණිකයන් එක් ලක්ෂ හැට දහසක් යුරෝපා සංගම් රටවල් 23ක් අතර බෙදා ගැනීමයි.

Image copyright Getty

නමුත් මේ යෝජනාව ප්‍රතික්ෂේප වූ බැවින්, සංක්‍රමණික අර්බුදයට කඩිනම් පිළියමක් සෙවීම සඳහා හදිසි සමුළුවක් කැඳවීමට සැරසෙන බව යුරෝපා කොමිසමේ සභාපති ඩොනල්ඩ් ටසක් පවසයි.

යුද්ධයෙන් ඉතා දරුණු ලෙස පීඩා විඳින සිරියාවේ සහ ලිබියාවේ සිට සංක්‍රමණිකයන් දහස් ගණනක් පසුගිය සති කිහිපය පුරා යුරෝපයට ඇතුළු වීමේ පරමාර්ථයෙන් සිය ජීවිත අනතුරේ දමමින් දීර්ඝ ගමනක යෙදෙමින් සිටියි.

මින් බොහොමයක් හංගේරියාව හරහා ජර්මනියට යාමටයි උත්සාහ කරන්නේ.

Image copyright

හංගේරියාව සංක්‍රමණික අර්බුදයට මැදිව සිටින ප්‍රධාන රටක් වන අතර මෙම වීඩියෝව පටිගත කර තිබෙන්නේ රෝස්කේ හි පිහිටි සංක්‍රමණික කඳවුරකයි.

'ආහාර නැහැ'

“මේ කඳවුරේ ඉන්න ඔක්කොම සංක්‍රමණිකයන්ට නිදා ගන්න තියෙන්නේ එක ගොඩනැගිල්ලක් විතරයි, ඒ නිසා ගොඩක් සංක්‍රමණිකයන්ට සිද්ද වෙලා තියෙනවා එළියේ අටවා ගත්ත තාවකාලික ටෙන්ට් රෙදි යට නිදා ගන්න.” මාධ්‍යවේදියෙක් එම කඳවුරේ පවතින වත්මන් තත්වය විස්තර කළේය.

වීඩියෝව පටි ගත කළ මිකෙලා ස්ප්රිට්සෙන්ඩොෆර් ඕස්ට්‍රේලියාවේ දේශපාලන පක්ෂ සාමාජිකයකුගේ බිරිඳක්.

ඇය මේ කඳවුරට ගොස් ඇත්තේ සංක්‍රමණිකයන් වෙනුවෙන් එකතු කළ ආධාර බෙදා දීමටයි.

ඇය පවසන්නේ මාස තුනක කාලයක් තිස්සේ මුහුද සහ ගොඩබිම හරහා ඉතාමත් දුෂ්කර ගමනක යෙදුනු මෙම සංක්‍රමණිකයන් ප්‍රමාණවත් ආහාර හෝ සෞඛ්‍ය සේවා නොමැතිව කඳවුරු වල සිර කර ඇති බවයි.