සංක්‍රමණිකයන් 30000ක් මියුනික් නගරයට

Image copyright AFP

තවත් සංක්‍රමණිකයින් සහ අනාථයන් භාර ගැනීම මියුනික් නගරයට අසීරු කරුණක් වනු ඇති බව නගර බලධාරීහු පවසති.

ඊයේ දිනය තුළ පමණක් මියුනික් නගරයට ඇතුල් වී ඇති සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව තිස් දහසක්.

නගරයට විශාල වශයෙන් ඇතුළු වන සංක්‍රමණිකයන් සඳහා නවාතැන් සහ ඉඩ පහසුකම් ලබා දීම ගැට‍ළුවක් වෙමින් පවතින බවයි මියුනික් නගරාධිපතිවරයා කියා සිටියේ.

ඔලිම්පික් ක්‍රීඩා සඳහා යොදා ගත් භූමි ප්‍රදේශයක් සංක්‍රමණිකයන්ට නවාතැන් ලබා දීම පිණිස යොදා ගැනීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

Image copyright EPA

සංක්‍රමණිකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ජර්මනියේ පිහිටි වෙනත් කලාප සහ ඒවායේ නගර බලධාරීන් සහාය ලබා නොදෙන බවටත් මියුනික් නගරාධිපති ඩයිටර් රේටර් චෝදනා කරයි.

හංගේරියාව සහ ඕස්ට්‍රියාව ඔස්සේ සෙනසුරාදා ජර්මනිය බලා පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව වාර්තා ගත මට්ටමක් පෙන්නුම් කොට තිබේ.

ඉදිරි දින කිහිපය තුළ සර්බියාව අතර වූ තම දේශසීමාව වසා දමන බවයි හංගේරියානු ආණ්ඩුව නිවේදනය කළේ.

Image copyright Reuters

සෑම පැයක් තුළදීම සංක්‍රමණිකයන් පන්සීය දෙනෙක් සිය රටට ඇතුල්වන බව ඕස්ට්‍රියාව පවසයි.

දේශ සීමාව වස දැමුණු පසු ඒ ඔස්සේ පැමිණෙන නීති විරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගන්නා බව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ඕස්ට්‍රියානු විශේෂ පොලිස් ඒකකයේ ප්‍රකාශකයකු කියා සිටියේය.

ජර්මනිය බලා පැමිණෙන බොහොමයක් සංක්‍රමණිකයින් සිරියාවේ ගැටුම්වලට මැදි වූවන්.