දැරියක් අපයෝජනය: බංග්ලාදේශ් ක්‍රීඩකයාට දඬුවම්?

Image copyright Getty
Image caption ළමා මෙහෙකාරිය අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලත් වේග පන්දු ක්‍රීඩකයා තවමත් සොයමින් සිටින බව පොලිසිය පවසයි

එකොළොස් වියැති ළමා මෙහෙකාරියට ශාරීරික වද හිංසා කළ බවට චෝදනා එල්ල වීමත් සමග ක්‍රිකට් ක්‍රීඩක ශදාත් හොසේන්ට ක්‍රීඩා තහහමක් පැනවීමට බංගලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කොට තිබේ.

එල්ල වන චෝදනා මගින් සිය ආයතනයේ ප්‍රතිරූපයට හානි වී ඇති බව පවසන බංගලාදේශ ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේ සිය නිර්දෝෂී භාවය ඔප්පු කිරීම සඳහා ශදාත් හොසෙන් ඉදිරියට පැමිණිය යුතු බවයි.

සිය බිරිඳ සමග එක් වී ළමා මෙහෙකාරිය අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලත් වේග පන්දු ක්‍රීඩකයා සොයමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලබා සිටි දැරිය දින කිහිපයකට පෙරදී මහමග සිටියදී සොයා ගත් බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

දැරිය සොයා ගැනීමට පෙර පොලිසිය වෙත පැමිණි හොසේන් යුවල සිය මෙහෙකාරිය අතුරුදහන් වී ඇති බවට පැමිණිලි කොට තිබේ.

අනතුරුව දැරියගේ පාපොච්චාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හොසේන් යුවල විසූ නිවස වෙත ගිය නමුත් ඔවුන් එහි නොසිටි බවයි පොලිසිය පවසන්නේ.

රෝහල් ගත කොට ඇති දැරිය මේ වන විට සුවය ලබමින් සිටියි.

අපයෝජනයට ලක් වීමෙන් සිදු වී ඇතයි සිතිය හැකි බරපතළ මට්ටමේ තුවාල දැරියගේ සිරුරේ දැකිය හැකි බව රෝහල් වෛද්‍යවරු පවසති.

හොසේන් සහ ඔහුගේ බිරිඳ වාසය කරන නිවසේ වසරක සිට දැරිය සේවය කොට තිබේ.