සිර මැදිරිය බිඳ සිරකරුවන් මුදා ගනිති

ඇෆ්ගනිස්ථානයේ ගාන්සි නගරයට නුදුරින් පිහිටි ආණ්ඩුවේ බන්ධනාගාරයකට බලහත්කාරයෙන් ඇතුළු වූ තාලිබාන් කැරලිකරුවෝ එහි සිටි තුන්සිය පනහකට අධික රැඳවියන් නිදහස් කරති.

කැරලිකරුවන් එල්ල කළ වෙඩි පහරකට හසු වී එහි සිටි පොලිස් නිලධාරියකු මරුමුවට පත් වී තිබේ.

බන්ධනාගාර දොරටුව අබියසදී එක් කැරලිකරුවකු මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇති අතර බන්ධනාගාරය තුළට පැමිණි සෙසු පිරිස එහි වූ සිර මැදිරි විවෘත කොට ඇති බව ගාන්සි පළාත් නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා පැවසුවේය.

හොදින් සුදානම් වී පැමිණි ප්‍රහාරකයින් පොලිස් නිළ ඇදුමට සමාන ඇදුම්වලින් සැරසී සිටි බවත් මොහොමඩ් අලි අහමාදී ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බවයි මේ අතර තලිබාන් සංවිධානය කියා සිටියේ.

ඇතිවූ ගැටුම හේතුවෙන් ප්‍රහාරකයින් තිදෙනෙක් මරුමුවට පත් වී ඇති බව තාලිබාන් සංවිධානය සහ ආණ්ඩුකාරවරයා විසින් සනාථ කොට තිබේ.

පොලිස් නිලධාරීන් හත් දෙනකු තුවාල ලබා ඇති අතර රැඳවියන් අසූ දෙනකු බන්ධනාගාරය තුළ ඉතිරී වී ඇති බවත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.

පළා ගිය රැඳවියන් ගේ අනන්‍යතාවය මේ දක්වා පැහැදිලි වී නොමැති අතර ඔවුන් සිටිනා ස්ථානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත.

පළා ගිය රැඳවියන්ගෙන් බොහොමයක් තාලිබාන් සංවිධානයට අයත් බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.