ඊජිප්තු හමුදා ප්‍රහාරයකින් මෙක්සිකානු සංචාරකයින් මරුට

Image copyright Reuters

ඊජිප්තු ආරක්ෂක බලකායක් විසින් කැරලිකරුවන් යැයි සිතා ''වැරදීමකින්'' එල්ල කළ ප්‍රහාරයකින් සංචාරකයෝ දොළොස් දෙනෙක් මරුමුවට පත් වෙති.

මරුමුවට පත් වූ දොළොස් දෙනා අතර මෙක්සිකානු ජාතිකයන් ඇතුළු සංචාරකයෝ වූහ.

රථ පෙළට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් සංචාරකයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

කැරලිකරුවන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වී සිටින තහනම් ප්‍රදේශයක් ලෙස නම් කොට ඇති ලිබියානු දේශ සීමාවට ආසන්න ප්‍රදේශයට රථ පෙළ ඇතුළු වී ඇති බව ඊජිප්තු ආණ්ඩුව ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ එම ප්‍රකාශය ප්‍රාදේශීය සංචාරක මඟ පෙන්වන්නකු විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

Image copyright Reuters
Image caption ප්‍රහාරය එල්ල වූ කාන්තාරය සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රිය ප්‍රදේශයකි

ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රථ පෙළ ගමන් ගනිමින් සිටි බව ඇතැම් වාර්තාවල පල විය.

මෙක්සිකානු ජාතිකයින් දෙදෙනකු මරුමුවට පත් වී ඇති බව මෙක්සිකෝ ආණ්ඩුව සනාථ කළේය.

මෙක්සිකෝ ජනපතිවරයා ප්‍රහාරය හෙළා දැක තිබේ.

ඊජිප්තුව වසර ගණනාවක් පුරා ඉස්ලාමීය කැරලිකරුවන් හා සටන් වදිමින් සිටියි.