බංග්ලාදේශයේත් විභාග ප්‍රශ්න පත්‍ර වංචාවක්

Image copyright Focus Bangla
Image caption වෛද්‍ය විද්‍යා ප්‍රවේශයට පෙනී සිටින සිසුන්ගේ දෙමව්පියන්.

විභාග ප්‍රශ්න පත්‍ර හොර රහසේ පිට කිරීම සම්බන්ධයෙන් පසුගිය සතිය ඇතුළත හතළිස් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ් බලධාරීහු පවසති.

එම වරද සම්බන්ධයෙන් සැකයට පත් කණ්ඩායමේ අවසන් පුද්ගලයන් අද අත්අඩංගුවට ගත් බවයි බංග්ලාදේශ් බලධාරීන් පවසන්නේ.

සැකකරුවන් අතර බංග්ලාදේශ් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරයකු ද සිටියි.

කල් තබා පිට කර ගනු ලැබ ඇති ප්‍රශ්න පත්‍ර මේ දිනවල පැවැත්වෙන ජාතික වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයකට අයත් ඒවා වන බවයි පැවසෙන්නේ.

මුදලට විකිණීම සඳහා ප්‍රශ්න පත්‍ර රහසින් පිට කර ගනු ලබන සංවිධානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වෙන බව බංග්ලාදේශ් පොලිසියේ අදහසයි.