සුභාෂ් චන්ද්‍රබෝෂ්;දැවැන්ත චරිතයක මරණයේ අභිරහස

Image copyright b
Image caption සුභාෂ් චන්ද්‍රබෝෂ් මහත්මා ගාන්ධි සමඟ

සුබාෂ් චන්ද්‍රබෝෂ් යනු ඉන්දියානු දේශපාලනය තුළ එක් අතකින් ඉන්දීය නිදහස් ව්‍යාපාරයට උර දුන් සටන්කාමී නායකයකු හැටියට ද අනිත් අතින් දෙවැනි ලෝක මහා සංග්‍රාමය අවධියේ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ජර්මන් සහ ජපන් ෆැසිස්ට්වාදීන්ගේ උදව් ගැනීම නිසා නම නරක් කර ගත් සංකීර්ණ දේශපාලන චරිතයකි.

ඒ නිසාම ලොව පුරා මතභේදයට ලක් වූ චරිතයක් වන චන්ද්‍රබෝෂ් අභාවප්‍රාප්ත වුනේ ගුවන් අනතුරකින් බවටයි ඉතිහාසයේ ලියැවී තිබෙන්නේ.

දැන් යළිත් චන්ද්‍රබෝෂ් නාමය කරළියට පැමිණ තිබෙන්නේ ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ආණ්ඩුව ඔහුගේ ජීවිතයට අදාළ ලිපි ගොණු හැට හතරක අන්තර්ගත තොරතුරු තවදුරටත් රහස්‍ය මට්ටමින් පවත්වා නොගන්නා ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟයි.

Image copyright netaji research bureau
Image caption චන්ද්‍රබෝෂ් සහ ජවහර්ලාල් නේරු

එම ලිපි ගොණු මහජනයාට විවෘත කරන බව කොල්කටා පොලිසිය ප්‍රකාශ කළත් ඒවායේ අන්තර්ගත කරුණු මොනවාද යන්න තවමත් දැනගන්නට නොමැත.

රහස්‍ය ලිපිගොණු

සුභාෂ් චන්ද්‍රබෝෂ් දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් සිය භූමියෙන් පලවා හරිනු ලැබීමේ මූලෝපායක් වශයෙන් නාසි නායල ඇඩොල්ෆ් හිට්ලර්ට සහයෝගය පළ කරමින් ජර්මන් පාර්ශ්වය ගත් අතර ඒ සමඟයි, ඔහු ඉන්දියානු මෙන්ම ලෝක දේශපාලනය තුළ මහා විවාදාත්මක දේශපාලන චරිතයක් බවට පත් වන්නේ.

ඒ අතරවාරයේ ගුවන් අනතුරකින් චන්ද්‍රබෝෂ් මරණයට පත් වූ බව නිවේදනය කෙරුණ අතර එය කුමන්ත්‍රණ න්‍යායයන් ගණනාවකට මුල් විය.

සුභාෂ් චන්ද්‍රබෝෂ්ට සම්බන්ධ ලිපි ගොණු හැට හතරක් කොල්කටා පොලිසිය විසින් මහජනයාට විවෘත කරන නමුත් ඔහු පිලිබඳ තවත් ලිපි ගොණු කොතරම් සංඛ්‍යාවක් ඉන්දීය ආණ්ඩුව සතුව තිබේද යන්න පැහැදිළි නැත.

ඉතිහාසය වෙනස් වේද?

ඉතිහාසයට ගොස් යළි විපරම් කරන විට පෙනී යන්නේ සුභාෂ් චන්ද්‍රබෝෂ් 1945 වසරේ සිදු වූ ගුවන් අනතුරකින් මරණයට පත් වූ බව පැවසෙන නිල ප්‍රකාශනය එලෙසින්ම භාර ගැනීමට බොහෝ ඉන්දියානුවන් සූදානම් නොවූ බවයි.

නිල ප්‍රකාශන අනුව එම ගුවන් අනතුර සිදු වුණේ තායිවානයේදී.

Image copyright Amitabha Bhattasali
Image caption රහස්‍ය ලිපිගොණු

සිරුර එහිදීම දවා ලූ බවක් ප්‍රකාශයට පත් කෙරුනත් මරණයට අදාළ කිසිදු ඡායාරූපයක් ප්‍රසිද්ධ නොකෙරුණි.

අභිරහස් මරණය

මේ තත්වය තුළ චන්ද්‍රබෝෂ්ගේ මරණය අභිරහසක්ද?

කර්තෘමය අයිතිය ‘ගෙටී’ (Getty Images)වෙබ් අඩවිය සතු චන්ද්‍රබෝෂ්ගේ යයි සැලකෙන එක් ඡායාරූපයක කෙටි හැඳින්වීම හැටියට දැක්වෙන්නේ ‘සයිබීරියාවේ රුසියානු සිරකරුවෙක්ද?ඉන්දියාවේ ආගමික නායකයෙක්ද? යන ප්‍රශ්න දෙකයි.

මේ තත්වය තුළයි චන්ද්‍රබෝෂ්ගේ ඉරණම පිළිබඳව ‘කුමන්ත්‍රණ න්‍යායන්’ ගණනාවක් මතු වෙන්නේ.

Image copyright b
Image caption සයිබීරියානු සිරකරුවෙක්ද? ඉන්දීය සාධුවරයෙක්ද?

ඉන් එක් න්‍යායක් අනුව බෝෂ් සයිබීරියාවේ සිරකරුවකු වීද? යන ප්‍රශ්නය පැන නගින අතර තවත් න්‍යායක් අනුව ඔහු සිය ජීවිතයේ අන්තිම කාලය ඉන්දියාව තුළම ආගමික වේශයකින් සැඟවුන ජීවිතයක් ගත කළේද? යන ප්‍රශ්නය පැන නගී.

වෙස්වලා ගත් සාධුවරයෙක්?

දැන් අපි ඉන්දියානු මාධ්‍යවේදී අන්ජු දාර්ට සවන් දෙමු .

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු චන්ද්‍රබෝෂ්, ඇමෙරිකානු සහ එක්සත් ජනපද හමුදාවන් විසින් තමා අල්ලා ගනු ලැබීමෙන් බේරීමට ව්‍යාජ මරණයක් නිර්මාණය කොට ඉන්දියාව තුළම සැඟවුන ජීවිතයක් ගත කළ බව අන්ජුගේ (India’s Biggest Cover Up) ‘ඉන්දියාවේ මහා හැංගීම’ කෘතියේ දැක්වෙයි.

Image copyright Amitabha Bhattasali

චන්ද්‍රබෝෂ්ට අදාළ ප්‍රකාශයට පත් කෙරෙන ලිපිගොණුවල අන්තර්ගත කරුණු සවිස්තරාත්මකව දැන ගැනීමට තවමත් නොහැකි වී ඇති අතරම ඒ නිසාම ඒවා මගින් ඔහුගේ මරණයේ රහස අනාවරණය කර ගැනීම අතින් ආලෝකයක් ලැබේද යන්නත් පැහැදිලි නැත.

මේ අතර ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ චන්ද්‍රබෝෂ් ගැන දැක්වෙන තවත් ලිපිගොණු දිල්ලි පාලනය අතේ රහස්‍ය මට්ටමින් පවතින හෙයින් කොල්කටා පොලිසිය ප්‍රසිද්ධ කරන ලිපි ගොනු වැදගත් නොවන බවයි.

භාරතීය ජනතා පක්ෂය විපක්ෂයේ සිටියදී චන්ද්‍රබෝෂ්ට සම්බන්ධ ලිපි ගොණු තිස් නවයක් රහස්‍ය භාවයෙන් මුදන ලෙස එවකට පාලක කොන්ග්‍රස් පක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණි.

බීජේපී පිළිවෙත

Image copyright Netaji Research Bureau
Image caption සිය නිදහස් සටනේ භටයන් නිරීක්‍ෂණය කරන චන්ද්‍රබෝෂ්

එසේ වුවද, භාරතීය ජනතා පක්ෂය ද බලයට පත් වීමෙන් අනතුරුව ඉහත කී ලිපි ගොණු තිස්නවය රහස්‍යභාවයෙන් මුදා හැරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

ඉන්දීය අගමැති කාර්යාලයේ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කරන්නේ, ‘විදේශ රටවල් සමඟ පවතින සබඳතා වලට අහිතකර බලපෑමක් ඇති කෙරෙන’ බව පවසමින් චන්ද්‍රබෝෂ්ට අදාළ ලිපි ගොණුවල රහස්‍යභාවය ඉවත් කළ නොහැකි බව ආණ්ඩුව කියා සිටින බවයි.

බටහිර බෙංගාල ප්‍රාන්ත ආණ්ඩුව ඔවුන් අත ඇති උක්ත ලිපි ගොණුවල රහස්‍යභාවය අහෝසි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දිල්ලි මධ්‍යම පාලනය විසින් මෙතෙක් අදහසක් පළ කරනු ලැබ නැත.