පෙෂවෝර් ගුවන් කඳවුරට තාලිබාන් ප්‍රහාරයක්

තාලිබාන් ප්‍රහාරකයන් විසින් ‘පෙෂාවෝර්’ නගරයේ ගුවන් හමුදා කඳවුරක පිහිටි පල්ලියක් තුළ වන්දනා කරමින් සිටි දහ සය දෙනකු මරා දමනු ලැබ ඇතැයි පාකිස්තාන් යුද හමුදාව පවසයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ එම නගරයේදීම එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසල් දරුවන් ඝාතනය කරනු ලැබීමේ සිද්ධියෙන් අනතුරුව එහි එල්ල කෙරුණ පළමු ලේ වැගිරුණ ප්‍රහාරය මෙය බවත් පාකිස්තාන් වාර්තාවන්හි දැක්වෙයි.

නිල ඇඳුමින් සැරසුණ අධි සන්නද්ධ ප්‍රහාරකයන් දෙපැත්තකින් ගුවන් හමුදා කඳවුරට පහර දුන් බවයි යුද හමුදාව පවසන්නේ.

Image copyright AFP

ප්‍රහාරයේදී ගුවන් හමුදා කපිතාන් වරයකුද මරණයට පත් වී ඇති අතර හමුදාව පවසන්නේ සටනේ දී ප්‍රහාරකයන් දහතුන් දෙනකු ද මරා දමන ලද බවයි.

එහෙත් තාලිබාන් වාර්තා අනුව ප්‍රහාරයේදී දෙසීයක පමණ සංඛ්‍යාවක් මරා දමනු ලබා ඇත.

එම ගුවන් හමුදා කඳවුර සන්නද්ධ කැරලිකරුවන් රැඳී සිටින ගෝත්‍රික ජන කලාපවලින් වට වී ඇති බවයි ඉස්ලාමාබාද් නගරයේ සිටි බීබීසී වාර්තාකරුවෙක් ප්‍රකාශ කළේ.

බල ප්‍රදර්ශනයක්

ප්‍රහාරයට ඉලක්ක වූ යුද කඳවුර සටන් මූලස්ථානයක මට්ටමින් නොව ප්‍රධාන වශයෙන් පරිපාලනමය උවමනාවන් සඳහා උපයෝගී කර ගනු ලබන්නක් බවත් පැවසෙයි.

Image copyright AFP

එම කලාපයේ කැරලිකරුවන්ට එරෙහිව ආණ්ඩුවේ හමුදා ගෙන යන මෙහෙයුම්වල ප්‍රගතියක් ලබමින් පවතින අතරවාරයේ එල්ල කෙරුණ අද ප්‍රතිප්‍රහාරය කැරලිකරුවන් සිය ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් හැටියට සිදු කරන ලද්දක් හැටියටද තක්සේරු කෙරෙයි.

පාකිස්තාන් තලිබාන් ප්‍රකාශක මුහම්මඩ් කුරසානි නිකුත් කර ඇති විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් පැවසෙන්නේ සිය සංවිධානයේ මරා ගෙන මැරෙන ඒකකය විසින් අද ප්‍රහාරය එල්ල කරන ලද බවයි.

ප්‍රහාරයට කඳවුර අභ්‍යන්තරයෙන් උදව් ලැබී ඇද්ද යන්න තවම පැහැදිලි නැත.