ඇෆ්ගන් තලිබාන් නව නායකයා 'සාමයට' අත වනයි

Image copyright Reuters
Image caption ඇෆ්ගනිස්තාන තාලිබාන් සංවිධානයේ නව නායක මුල්ලා අක්තර් මන්සූර්

රට තුළ යොදවා සිටින විදේශ හමුදා නෙරපා හරින්නේ නම් ඇෆ්ගනිස්තාන ආණ්ඩුව සමග සාම සාකච්ඡා පැවැත්වීමට සුදානම් බවට ඇෆ්ගනිස්තාන තාලිබාන් සංවිධානයේ නව නායක මුල්ලා අක්තර් මන්සූර් ඉඟියක් පළ කොට තිබේ.

ඒ සඳහා ඇමරිකාව සමග එළඹ ඇති ආරක්ෂක ගිවිසුම ඉවත දැමිය යුතු බවත් තාලිබාන් නායකයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එක්සත්ව කටයුතු කරන ලෙසත්, ඊද් උත්සවයට පෙර නිකුත් කරනු ලැබූ නිවේදනය මගින් මුල්ලා අක්තර් සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Image copyright AFP
Image caption ඇෆ්ගනිස්තානය තුළ විදේශ හමුදා භටයින් 13000ක් රඳවා තැබීමට අනුමැතිය ලබා දෙන ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය හා ඇෆ්ගනිස්තානය අතර අත්සන් තැබුණේ 2014 වසරේදීයි

ඇෆ්ගනිස්තාන තාලිබාන් සංවිධානයේ හිටපු නායක මුල්ලා ඕමාර් දෙදහස් දහතුන වසරේදී මරුමුවට පත් වූ අතර ඔහු මිය ගොස් ඇති බව සනාථ වූයේ පසුගිය ජුලි මාසයේදීයි.

ඉන් අනතුරුව මුල්ලා මන්සුර් ඇෆ්ගනිස්තාන තාලිබාන් සංවිධානයේ නව නායකයා ලෙස පත්වීමත් සමග සංවිධානය තුළ බෙදීමක් දක්නට ලැබිණ.

රට තුළ විදේශ හමුදා නොසිටින්නේ නම් ඇෆ්ගනිස්තානුවන්ගේ ප්‍රශ්න අවබෝධය තුලින් රට අභ්‍යන්තරයේදීම විසඳා ගැනීමට හැකි වනු ඇති බවත් නිවේදනයේ සඳහන්.

ඇෆ්ගනිස්තානය තුළ විදේශ හමුදා භටයින් 13000 ක් රඳවා තැබීමට අනුමැතිය ලබා දෙන ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය හා ඇෆ්ගනිස්තානය අතර අත්සන් තැබුණේ 2014 වසරේදීයි.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා සහාය ලබා දෙනු වස් එම භට කණ්ඩායම් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින අතර ඒ අතුරින් බහුතරයක් ඇමරිකානු හමුදාවට අයත්.