සිසුන් අතුරුදහන් කිරීමට එරෙහිව මෙක්සිකෝවේ වීදි පෙළපාලි

මෙක්සිකෝවේ සිසුන් හතළිස් තුන් දෙනකු පැහැර ගනු ලැබ අතුරුදහන් කරනු ලැබීමේ අපරාධයට අදට (26) අවුරුද්දක් පිරීමත් සමඟ එම සිසුන් වෙනුවෙන් දහස් ගණනක් ජනතාව වීදි විරෝධතා ව්‍යාපාරයකට අවතීර්ණ වෙමින් සිටිති.

දේශපාලන විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී 2014 වසරේ සැප්තැම්බර් 26 වෙනි දින මෙක්සිකෝවේ ගූරිරෝ ප්‍රාන්තයේ ඉගෝලා නගරයේදීයි ඉහත කී ශිෂ්‍යයන් කණ්ඩායම පැහැර ගනු ලැබුණේ.

සිසුන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වරින්වර විවිධ අර්ථකථන ඉදිරිපත් කොට ඇතත් ඔවුන්ට සිදු වුනේ කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිළි පිළිතුරක් ලැබී නැත.

ආණ්ඩුවේ නිගමනය

මෙක්සිකෝ ආණ්ඩුව විසින් සිදු කරන ලද විභාගයක නිගමනය වුණේ සාපරාධී කල්ලියක් අතට පත් සිසුන් කණ්ඩායම මරා දමනු ලැබ ඔවුන්ගේ සිරුරු කසල ගොඩ ගසන තැනකදී පුළුස්සා දමා ඇති බවයි.

කොකුලා සහ ඉගෝලා නගරයන්හි පොලිසිය සිසුන් කණ්ඩායම රඳවා ගෙන ඇති අතර අනතුරුව ඔවුන් ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය කල්ලියකට භාර දී ඇති බවත් අනතුරුව ඔවුන් මරා පුළුස්සා දමා ඇති බවත් මෙක්සිකෝ ෆෙඩරල් ආණ්ඩුව ප්‍රකාශ කොට ඇත.

එහෙත් ආණ්ඩුවේ එම නිගමනය සිසුන්ගේ දෙමව්පියෝ ප්‍රතික්ෂේප කරති.

මේ අන්තර් ඇමෙරිකානු කොමිසමේ විශේෂඥයන් කණ්ඩායමක් මාස හයක කාලයක් සිදු කරන ලද පරීක්ෂණයක් අවසානයේ නිගමනය කළේ කලින් පරීක්ෂනවල අඩුපාඩු ගණනාවක් දක්නට ලැබෙන බවයි.

ජාත්‍යන්තර විභාගයක්

සිසුන්ට අත් වූ ඉරණම මෙක්සිකෝවේ දැඩි මහජන උදහසට හේතු වී ඇති අතර අපරාධයට වසරක් පිරීමත් සමඟ ජනතාව යළි විභාගයක් පවත්වන මෙන් ආණ්ඩුවට බල කරති.

එම තත්වය යටතේ සිසුන්ගේ දෙමව්පියන් සහ මහජනයා ඉල්ලා සිටින්නේ සිය ළමුන් හතළිස් තුන් දෙනා අතුරුදහන් වීම සමඟ යුද හමුදාව අතර පැවතිය හැකි සම්බන්ධය විභාග කළ යුතු බවයි.

ආණ්ඩුවේ පරීක්ෂණවල මූලික වැරදි ඇති බව පැහැදිලි හෙයින් තම දරුවන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් දෙමව්පියෝ ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විභාගයක් ඉල්ලා සිටිති.