ඇෆ්ගනිස්තානය: කුන්දුස් නගරයට තාලිබාන් 'කඩා වදිති'

Image copyright AP
Image caption කුන්දුස් නගරය ඇෆ්ගනිස්තානයේ පිහිටි මූලෝපායී වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්

තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ අඩක බලය අල්ලා ගෙන ඇති බව ඇෆ්ගනිස්තාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙක් ප්‍රකාශ කරයි.

තාලිබාන් කැරලිකරුවන් සිය ගණනක් කඩා වැදී කුන්දුස් නගරයට දරුණු ප්‍රහාරයක් එල්ල කළ බවයි ඇෆ්ගනිස්තාන බලධාරීන් ප්‍රකාශ කළේ.

ප්‍රහාරයට පැමිණි කැරලිකරුවන් එකවරම පැති කිහිපයකින් නගරයට කඩා වැදුණු බවයි පැවසෙන්නේ.

ප්‍රහාරය එල්ල කරමින් ඉදිරියට පැමිණි කැරලිකරුවන් ගොඩනැගිලි ගිනි තබා ඇති අතර රෝහලක් ද සිය පාලනයට නතු කර ගෙන තිබේ.

Image copyright Reuters
Image caption 'ඉතා බිහිසුණු සටනක් සිදු වෙනවා. මිනිස්සුන්ට නිවෙස් අතහැරලා පිටමං වෙන්න සිදු වුනා'

‘ඉතා බිහිසුණු සටනක් සිදු වෙනවා. මිනිස්සුන්ට නිවෙස් අතහැරලා පිටමං වෙන්න සිදු වුනා. ළමුන් සහ කාන්තාවන් පවා ගෙවල් අතහැරලා එළියට බැහැලා. ඔවුන්ට යන්න තැනක් නැහැ. හතර පැත්තෙන්ම කොටු වෙලා’ ප්‍රාදේශීය මන්ත්‍රීනි ෆටිමා අසිස් පැවසුවාය.

මේ දක්වා කුන්දුස් ප්‍රදේශයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි වාර්තා වන්නේ.

දෙපාර්ශවයේම කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසන නමුත් මිය ගොස් ඇති ගණන තවමත් සනාථ වී නොමැත.

කුන්දුස් ප්‍රදේශයට පසුගිය අප්‍රේල් මාසයේ පටන් දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල විය.

කුන්දුස් නගරය ඇෆ්ගනිස්තානයේ පිහිටි මූලෝපායී වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්.

Image copyright Reuters
Image caption කුන්දුස් නගරයේ යොදවා සිටින ඇෆ්ගනිස්තාන හමුදා

මෙම ප්‍රදේශය මීට ඉහතදී තාලිබාන් කැරලිකරුවන්ගේ උතුරුකරයේ බලකොටුව වශයෙන් පැවතිණි.

2001 වසරේ තාලිබාන් පාලනය බිඳ වැටීමත් සමග ඔවුන්ට එම ප්‍රදේශය අහිමි විය.

ඒ හේතුවෙන් තලිබාන් සංවිධානයට මෙම ප්‍රහාරය සහ ප්‍රදේශය සංකේතාත්මක වශයෙන් ඉතා වැදගත් බවයි විශ්ලේෂකයන් පවසන්නේ.