දුම්රිය බෝම්බ පිපිරවූවන්ට මරණ දඬුවම

Image copyright AFP
Image caption පළමු පන්තියේ මැදිරි වලයි මේ පිපිරුම් සිදුවුයේ

බටහිර ඉන්දියාවේ මුම්බායි නගරයේ අධිකරණයක් විසින් 2006 වසරේ දී මගී දුම්රිය තුළ බෝම්බ පුපුරුවා හැරීමෙන් මහා මිනිස් ඝාතනයක් කළ බවට චෝදනා ලැබූ චූදිතයන් අතරින් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කරනු ලැබ තිබේ.

2006 වසරේ ජුලි මස 11 වෙනිදා සිදු වූ මේ මහා මිනිස් ඝාතනය ට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

මේ සිදුවීමේ දී දුම්රිය කිහිපයක් තුළ සිදු කරන ලද පිපීරීම් 7 ක් හේතුවෙන් පුද්ගලයන් 189 කට ජීවිත අහිමි වු අතර තවත් 800 කට වැඩි පිරිසකට තුවාල සිදු විය.

මෙම බෝම්බ ප්‍රහාරය පිළිබඳව චෝදනාවට ලක් වුණේ පකිස්තානයේ සහයෝගය ලැබී යැයි සැලකෙන ඉස්ලාම් සටන්කාමීන් බවයි මේ අධිකරණ තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් බී බී සී යේ සන්ජෝයි මජුම්දර් පැවසුවේ.

Image copyright AP

“මේ චෝදනා ලැබූ 12 දෙනා ම මුස්ලිම් ජාතිකයෝ. මේ පිලිබඳ පරීක්ෂණ පවත්වන අය මුල ඉඳන්ම චෝදනා කළේ මේ ප්‍රහාර සැලසුම් කළේ පකිස්ථානයේ ඉස්ලාම් සටන් කාමීන් කණ්ඩායමක් විසින් බවට චෝදනා කරමින්. සමහර අය චෝදනා ලබල තියෙන්නෙ බෝම්බ සවි කිරීමට එත් එක්කම තවත් සමහර අය ඒ සඳහා සහය දීම පිළිබඳව චෝදනා ලැබුව. කොහොම වුනත් මේ සැලසුම සිදුකළේ පකිස්ථානයේ කියන චෝදනාව හැම විටම තිබුනත් පකිස්ථානය ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනව” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

සාමාන්‍ය විදුලි උදුන් හතක් තුළ සවි කර තිබූ බෝම්බ හතම මිනිත්තු 15 ක් ඇතුළත පිපිරී ගියේ බලාපොරොත්තු නොවූ අකාරයෙන්.

මෙම ප්‍රහාරයෙන් පසු එය හෙළා දැක කතා කළ පළමු වන්නා පකිස්තාන අගමැතිවරයා වීම අවධානයට ලක් වූ කරුණක්.

මේ පිපිරීම් සිදු කළ සූක්ෂ්ම ආකාරය ලන්ඩනයේ හා මැඩ්රිඩ් නගරයේ සිදු කළ පිපිරීම් වලට සමාන කම් දැක්වීමයි අල් කයිඩා සංවිධානය වෙත ඇඟිල්ල දිගු කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ.

Image copyright AFP

තවත් ප්‍රබල සැකයක් පවතින්නේ 1993 දී මීට සමාන බෝම්බ පිපිරීම් කිහිපයක් සිදුකර 250 කට අධික පිරිසක් මරා දැමූ දොන් දාවුඩ් ඊබ්‍රහිම් නම් ඉන්දියානු පාතාලයේ මාෆියා නායකයෙකු පිළිබඳවයි.

කෙසේ වුවද මේ පිපිරීම සිදු කලේ කවුරුන් විසින් ද යන්න පැහැදිලි කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවයි ඉන්දීය ජනතාව ඇතුළු බොහෝ විචාරකයන්ගේ අදහස වී ඇත්තේ.

මන්ද නැවත එවැනි ප්‍රහාරයක් ඇති නොවන්නට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වන නිසා බවයි බී බී සී යේ රාජිනි වෛධ්යානන්දන් මේ අධිකරණ තීන්දුව පිලිබඳ අදහස් දක්වමින් පැවසුවේ.

“මේ ප්‍රහාර වලින් අසරණ භාවයට පත් අය වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුවීමට සෑහෙන කාලයක් ගතවෙලා තියනව. දිනපතා මේ දුම්රිය සේවා භාවිතා කරන සිය දහස් ගානක් මගීන්ට තියන ප්‍රශ්නය ඒ ප්‍රමාදය නොවෙයි. 2006 ට වඩා මේ දුම්රිය පළවල් ආරක්ෂා සහිතයි කියල කියන්න තියන සහතිකය මොකක් ද කියන එක”

මෙම නඩු විභාගයේ දී 200 කට අධික සාක්ෂි කරුවන් පිරිසක ගෙන් ප්‍රශ්න කර ඇති අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී සාක්ෂි විභාග අවසන් වන විට වසර අටක් ගතවී තිබුණි.

මතුන්ගා, ක්හාර්, මහිම්, ජෝගේශ්වරී, බොරිවාලි, සහ මීරා යන ප්‍රදේශ වල සිදු වූ මේ පිපිරීම් වල දී පළමු පන්තියේ මැදිරි ඉලක්ක කරගෙන තිබුණු මේ ප්‍රහාරයෙන් මරණයට පත්වුණේ වැඩ අවසන් වී නිවෙස් බලා යන සේවකයන්.

කේ සේ වුවද මුම්බායි දුම්රිය සේවාව යනු ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ දුම්රිය සේවාවලින් එකක් වන අතර දිනකට මිලියන 8 කට වැඩි ජනතාවක් මේ සේවාවන් භාවිතා කරති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර