සිරියානු ජනපතිගේ විරුද්ධවාදීන්ට රුසියාවෙන් ගුවන් ප්‍රහාර

Image copyright AFP
Image caption රුසියානු ජනපති පුතින් සහ සිරියානු ජනපති බෂර් අල් අසාද්

සිරියානු අර්බුදය අවසානයක් කරා ගෙන ඒම සඳහා දේශපාලනික සම්මුතියකට පැමිණීමට එකඟ වන මෙන් රුසියානු ජනපතිවරයා සිරියානු ජනපති බෂර් අල් අසාද්ගෙන් ඉල්ලා සිටියි.

රුසියානු ජනපති ව්ලැද්මීර් පුතින් ඒ බව කියා සිටියේ ජනපති බෂර් අල් අසාද්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව රුසියානු යුද ගුවන් යානා සිරියාව තුළ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුවයි.

සිරියානු අර්බුදයට දීර්ඝ කාලීන අවසාන විසඳුමක් ලබා දීමට හැකි වනු ඇත්තේ දේශපාලන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් බව පුතින් ජනපතිවරයා අවධාරණය කළේය.

දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ අවශ්‍යතාව සිරියානු ජනපති බෂර් අල් අසාද් තේරුම් ගෙන සිටින්නේ යැයි තමා විශ්වාස කරන බවත් ජනපති පුතින් කියා සිටියේය.

Image caption සිරියානු ජනපති බෂර් අල් අසාද්ට එරෙහිව පෙනී සිටින ක්‍රියාධරයෙක් විසින් ගනු ලැබූ ඡායාරූපයක්

මේ අතර ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයේ කඳවුරු ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි රුසියානු ආරක්ෂක බලධාරියෙක් සඳහන් කළේ.

නමුත් ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය අත පවතින ප්‍රදේශ රුසියානු ප්‍රහාරක යානා වල ඉලක්කය බවට පත් වී ඇති බවක් පෙනෙන්නට නොමැති බව නම හෙළි නොකළ ඇමරිකානු ආරක්ෂක බලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

2011 වසරේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මිය ගොස් ඇති පිරිස ලක්ෂ දෙකකට අධිකයි.

කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට නිසි සොයා බැලීමකින් තොරව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මරුමුවට පත් වීම සම්බන්ධයෙන් සිරියානු ජනපති බෂර් අල් අසාද්ට චෝදනා එල්ල වේ.