බංග්ලාදේශයේත් IS ප්‍රහාර රැල්ලක් ?

Image copyright AFP

උතුරු බංග්ලාදේශයේ දී වෙඩි තබා ජපන් ජාතිකයෙකු මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි.

මරා දැමුණ ජපන් ජාතිකයා උතුරු බංග්ලාදේශයේ ‘රන්ග්පුර්’ නගරයේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක වැඩ කළ අයකු වන අතර ඔහු සිය වැඩපොළ කරා යමින් සිටියදී නාඳුනන තුවක්කු කරුවකු විසින් වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

‘ඩකා’ අගනුවර වීදියකදී ඉතාලි ජාතික සහනාධාර සේවකයෙකු වෙඩි තබා ඝාතනයට ලක් කර සතියකටත් වඩා අඩු කාලයක දී යි ඉහත කී ජපන් ජාතිකයා මරා දැමුණේ.

Image copyright b
Image caption වෙඩි තැබීම සිදු වුනේ රන්ග්පූර් නගරයේදී.

ඉතාලි ජාතිකයා මරා දමන ලද්දේ තමන් බව ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම පවසයි.

එය එවැනි ඝාතනයක් බංග්ලාදේශය තුළ සිදු කෙරුණ ප්‍රථම අවස්ථාවයි.

අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් විසින් සැලසුම් සහගත ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රවණතාවක් මෑත මාස කිහිපය තුළ බංග්ලාදේශය තුළ දක්නට ලැබුණි.