ජර්මනිය එකමුතු වීමේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් උත්සව

Image copyright b
Image caption ඇන්ජෙලා මර්කෙල් අනුස්මරණ උත්සවයක

දෙවන ලෝක මහා සංග්‍රාමය නිමාවේ රාජ්‍යයන් දෙකකට බෙදුන ජර්මනිය යළි ඒකාබද්ධ වීමේ විසිපස් වෙනි සංවත්සරය අදට යෙදෙයි.

ඒ නිමිත්තෙන් අද (03) ජර්මනිය පුරා උත්සව ආරම්භ වී ඇති බවයි ජර්මනියෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

කොමියුනිස්ට් පාලනයක් පැවති නැගෙනහිර ජර්මනිය සහ ලිබරල් ධනවාදී පාලන ක්‍රමයක් පැවති බටහිර ජර්මනිය නිල මට්ටමින් එක් රාජ්‍යයක් බවට යළි පත්වුණේ 1990 ඔක්තෝබර් 03 වෙනිදායි.

මෙම විසිපස් වෙනි සංවත්සරය නිමිත්තෙන් ආරම්භ වූ නිල උත්සව නියෝජනය කරමින් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ජනාධිපති ජෝකිම් ගෞක් (Joachim Gauck) ෆ්රන්ක්පර්ට් නගරයේ ආගමික උත්සවයකට සහභාගී වූහ.

නායකයන් නැගෙනහිරෙන්

චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සහ ජනාධිපති ජෝකිම් ගෞක් දෙදෙනාම නැගෙනහිර ජර්මනිය වෙනම රාජ්‍යයක් හැටියට පවතිද්දී එහි උපත ලද්දෝ වෙති.

Image copyright b
Image caption ජර්මනියට අනාථ රැල්ලක්

ජර්මනිය යුරෝපයේ දැවන්තම ආර්ථිකයක් සහිත රාජ්‍යයයි.

අද ඉහත කී අනුස්මරණ උත්සව ආරම්භ කරමින් අදහස් දැක්වූ චාන්සලර්වරිය කියා සිටියේ, තමරට සරණාගත සංක්‍රමණික රැල්ලක් සමඟ අභියෝගයකට මුහුණ දී සිටින බවයි.

එම අර්බුදය හමුවේ යුරෝපය සමූහයක් වශයෙන් එම සංක්‍රමනිකයන් සාධාරණ මට්ටමින් බෙදා ගත යුතු බවයි එක්සත් ජර්මනියේ විසිපස් වෙනි සමරුව වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන චාන්සලර්වරිය කියා සිටියේ.

‘අපට මේ සංක්‍රමණික රැල්ල විසඳා ගන්න පුළුවන්.ජර්මනිය ,යුරෝපය සහ සෙසු ලෝකය එකමුතු උත්සාහයක් ගැනීම මගින්.සියලු දෙනාම මීට උර දිය යුතුයි.ජර්මනියට තනිව මෙය විසඳන්න බැහැ’චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ප්‍රකාශ කළාය.

ඉරාකයේ සහ සිරියාවේ යුද අනාථයන් 200000ක් පසුගිය මාසය තුල පමණක් ජර්මනියට ඇතුල්ව සිටිති.

බර්ලින් තාප්පය

Image copyright AFP
Image caption සමරු රැළියක ජනතාව

1990 ඔක්තෝබර් 03 වෙනිදා ජර්මන් රාජ්‍යයන් දෙක එකට එකමුතු වුණේ බර්ලින් පවුර බිඳ හෙළනු ලැබීමෙන් මාස එකොළහකට පමණ පසුවයි.

සෝවියට් කඳවුරේ රාජ්‍යයක්ව පැවති නැගෙනහිර ජර්මනිය බටහිරට යා කරමින් බර්ලින් තාප්පය බිඳ වැටීම සමාජ ක්‍රම දෙකක් පැවති රටවල් දෙකක් එකට එක් කිරීමක් පමණක් නොව එය ලෝක දේශපාලන ක්‍රමයේ නව දිශාවක් සනිටුහන් කිරීමක් ද විය.

ඒ සමඟ එම අවධියේ වෝර්සෝ සංවිධානය හැටියට ගොනුව තිබුණ රටවල් කොමියුනිස්ට් ආකෘතියෙන් ඉවත් වෙමින් ලිබරල් ප්‍රතිසංස්කරණ දෙසට යොමු වූ අතර 1991 වසර වන විට සෝවියට් සංගමය ද බිඳ වැටුණි.