‘සමරිසියන් දෙවියන්ගේ දරුවන්’

Image copyright EPA
Image caption ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා

‘සමලිංගික සබඳතා පවත්වන සෑම තැනැත්තකු දෙවියන්ගේ දරුවෙකි. එය දෙවියන් වහන්සේගේ කැමැත්තයි’

මෙය අද (03) යුරෝපයේ ඇතැම් මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලයයි.

ඉතා ඉහල පදවියක් දරන පූජකවරයකු විසින් සිය සමලිංගික ජීවිතය හෙළිදරව් කරනු ලැබීම ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණේ එවැනි සිරස්තල සහිතවයි.

වතිකානය සසළ කළ එම ප්‍රකාශය කළේ ක්‍රිස්ටෝෆ් චරම්ෂා (Kryzsztov Charamsa) නම් පෝලන්ත ජාතික සම්භවයක් සහිත දේවගැතිවරයකු විසින්.

දේවගැතිවරයා විසින් කරන ලද හෙළිදරව්ව රෝමානු කතෝලික සභාවේ බලවත් කෝපයට හේතු වී ඇත.

එම හෙළිදරව් කරනු ලැබීම සිදු කෙරුනේ ‘පවුල’ සම්බන්ධයෙන් කතෝලික ඉගැන්වීම් නිර්වචනය කෙරෙන රදගුරුවරුන්ගේ ආගමික සමුළුවක් ආරම්භ වීමට දිනක් තිබියදී.

වතිකානයේ උදහස

Image copyright b

ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා සිය සමලිංගික ජීවිතය අනාවරණය කරනු ලැබීමෙන් අනතුරුව ඔහු එතෙක් දරන ලද පදවියෙන් ඉවත් කොට ඇත.

වතිකාන් ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් තරයේ කියා සිටියේ එම තීන්දුව එකී දේවගැතිවරයාගේ පෞද්ගලික තත්වයට අදාළ එකක් නොවූ බවයි.

එහෙත් එම දේවගැතිවරයා ඉහත කී කාරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දීම ඉතාම කනගාටුදායක සහ වගකීමෙන් තොර ක්‍රියාවක් වන අතර එමගින් රදගුරු හමුව අනවශ්‍ය ජනමාධ්‍ය තෙරපීමකට ගොදුරු වූ බවයි වතිකාන් ප්‍රකාශකයා සඳහන් කළේ.

හතළිස් තුන් හැවිරිදි ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා පවසන්නේ සමලිංගික ජීවිතය සම්බන්ධයෙන් කතෝලික සභාවේ පසුගාමී ආකල්පයට අභියෝග කිරීම සිය උවමනාව බවයි.

සමරිසි ආදරය

Image copyright AP
Image caption සමලිංගික අයිතිය වෙනුවෙන්

සිය සමලිංගික ජීවිතය ප්‍රීතිමත් එසේම සාඩම්බර එකක් වන බවත් දේවගැතිවරයා පවසයි.

මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ ‘සමලිංගික සබඳතා පවත්වන කතෝලිකයන් ආදර ජීවිතයෙන් සහමුලින්ම ඈත් කරනු ලැබීම අමානුෂික ක්‍රියාවක් වන බව තේරුම් ගැනීම සඳහා කතෝලික සභාවේ ඇස් ඇරීමට කාලය’ පැමිණ ඇති බවයි.

ක්‍රිස්ටෝෆ් චරම්ෂා දේවගැතිවරයා ‘විශ්වාසය පිලිබඳ කතෝලික මූලධර්ම සඳහා වන පර්ෂදයේ’ සාමාජිකයකු වූ අතර තවදුරටත් ඔහු එහි තනතුරක් නොදරන බව පවසන වතිකානය, දේවගැතිවරයකු වශයෙන් ඔහුගේ අනාගතය ප්‍රාදේශීය රදගුරු හිමියන් විසින් තීන්දු කරන බවයි කියා සිටින්නේ.