කුන්දුස් රෝහලට ප්‍රහාරය 'යුද අපරාධයක්'

Image copyright AP
Image caption ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ කුන්දුස් රෝහල

කුන්දුස් රෝහලට එල්ල කළ ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ඇෆ්ඝනිස්තානයේ ආණ්ඩුව නිකුත් කළ නිවේදනය එම්එස්එෆ් දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය දැඩිව හෙලා දැක තිබේ.

ආණ්ඩුවේ එම නිවේදනය "යුද අපරාධයක් සිදු කළ බව පිළිගැනීමක්" බවයි එම සංවිධානය පවසන්නේ.

තාලිබාන් කැරලිකරුවන් රෝහල තුල සිටි බැවින් රෝහලට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකානු සහ ඇෆ්ඝනිස්තාන හමුදා සැලසුම් කළ බවක් ඇෆ්ඝනිස්තාන ආණ්ඩුවේ නිවේදනයෙන් ගම්‍ය වන බවත් එම්එස්එෆ් සංවිධානය පවසයි.

Image copyright AP
Image caption ඇෆ්ඝනිස්තාන ආණ්ඩුව නිකුත් කළ නිවේදනය "යුද අපරාධයක් සිදු කළ බව පිළිගැනීමක්"

තාලිබාන් කැරලිකරුවන් පසුගිය මාසයේ උතුරු ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරය අත්පත් කරගත් අතර, එය යලි අත්පත් කරගැනීම පිණිස ඇමෙරිකානු හමුදාවල සහාය ලබන ඇෆ්ඝන් හමුදා සටන් වැදී සිටිති.

'සන්නද්ධ ත්‍රස්තවාදීන්' ඇෆ්ඝනිස්තාන හමුදාවට සහ සාමාන්‍ය ජනතාවට ප්‍රහාර එල්ල කිරීම පිණිස රෝහල යොදා ගනිමින් සිටින බව ඇෆ්ඝනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය සෙනසුරාදා පැවසීය.

රෝගීන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 180 කට වැඩි පිරිසක් සිටින රෝහල 'බිමටම අතුගා දැමීමට' ඇමෙරිකානු සහ ඇෆ්ඝන් හමුදා තීරණය කරන ලද බවක් එම නිවේදනයෙන් ගම්‍ය වන බවයි එම්එස්එෆ් සංවිධානය පවසන්නේ.

"මෙය යුද අපරාධයක් සිදු කළ බව පිළිගැනීමකි. එය, රෝහලට ප්‍රහාරය එල්ල වූයේ අහඹු ලෙසින් බව හැඟවීමට ඇමෙරිකාව මුලින් දැරූ උත්සාහයට සහමුලින්ම පරස්පර විරෝධී ප්‍රකාශයකි," බවත් එම්එස්එෆ් සංවිධානය පවසයි.

ප්‍රහාරයට ඇමෙරිකානු හමුදා සම්බන්ධ වූයේද යන්න පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඈශ්ටන් කාටර් ඉරිදා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර