පැල්මයිරා තවත් ස්මාරකයක් විනාශ කෙරේ

Image copyright Getty

අයිඑස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය කැරලිකරුවන් විසින් උතුරු සිරියාවේ පෞරාණික පැල්මයිරා නගරයේ තවත් ඉපැරණි ස්මාරකයක් විනාශ කර ඇති බව බලධාරීහු පවසති.

නගරය පාලනය කරන කැරලිකරුවන් විසින් ජයග්‍රහණයේ ද්වාරය නම් ස්මාරකය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි පැල්මයිරා නගරයේ ක්‍රියාධරයෙක් ඒඑෆ්පී පුවත් සේවයට කියා සිටියේ.

ජයග්‍රහණයේ ද්වාරය මීට වසර දෙදහසකට පමණ ඉහතදී ඉදිකරන ලද ස්මාරකයක් බවයි සැලකෙන්නේ.

ලොව ඉතා වැදගත්ම සංස්කෘතික මධ්‍යස්තානවලින් එකක් ලෙසින් යුනෙස්කෝ සංවිධානය විසින් විග්‍රහ කරනු ලබන පැල්මයිරා නගරයේ ඉපැරණි ස්මාරක දෙකක් අයිඑස් කැරලිකරුවෝ මීට ඉහතදී විනාශ කළහ.

සිරියාවේ ගැටුම නිරීක්ෂණය කරන ලන්ඩනයේ මූලස්ථානය පිහිටි මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි, එම සමාරකය විනාශ කර දමා ඇතැයි නගරයේ සිටින ඔවුන්ගේ ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

අයිඑස් කැරලිකරුවන් තවදුරටත් නගරයේ පාලනය අත්පත් කරගෙන සිටියහොත් පැල්මයිරාව සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙනු ඇති බව සිරියානු කෞතුක වස්තු පිළිබඳ ප්‍රධානී මාමුන් අබ්දුල් කරීම් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

ස්මාරකය විනාශ කිරීම 'යුද අපරාධයක්' බව සඳහන් කළ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා, "සිරියානු ජනතාවගේ අනන්‍යතාවය, ඉතිහාසය සහ දැනුම විනාශ කිරීමේ" අයිඑස් කැරලිකරුවන්ගේ ප්‍රයත්නයට එරෙහිව එක්සත්ව නැගී සිටින මෙන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

Image copyright Getty

ස්මාරක සහ ප්‍රතිමා යනු ඉස්ලාම් ධර්මයට එරෙහිව යන ප්‍රතිරූප වන්දනාවේ කොටසක් බව විශ්වාස කරන අයිඑස් සංවිධානය, ඒ සියල්ල විනාශ කළ යුතු බව අවධාරණය කරයි.

මීට වසර දෙදහසකට පමණ ඉහතදී ඉදිකරන ලද පෞරාණික පුද බිමක් වන බාල්ශාමින් පෞරාණික විහාරස්තානය අයි එස් කැරලිකරුවෝ පසුගිය ජුලි මාසයේදී විනාශ කළහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර