අට හැවිරිදි දැරියක් ඝාතනය කළ බවට එකොළොස් වියැති දරුවෙකුට චෝදනා

Image copyright WATE 6 ON YOUR SIDE
Image caption රෝහල් ගත කිරීමෙන් පසු දැරිය මිය ගොස් තිබේ

බලු පැටියකු මුල් කර ගනිමින් ඇති වූ ආරවුලක් මත අට හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක පිට එක්සත් ජනපද ටෙනසි ප්‍රාන්තයේ එකොළොස් හැවිරිදි පිරිමි දරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

බාල වයස්කාර දරුවාට නඩු පවරා ඇත්තේ මිනී මැරීමේ චෝදනා යටතේයි.

බලු පැටියා දැක බලා ගැනීමට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් හැවිරිදි පිරිමි දරුවා සිය අසල්වැසි මැක්කයිලා ඩියර් නමැති දැරියට වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

දරුවන් දෙදෙනාම එකම පාසලේ ඉගනුම ලැබූ බව මරුමුවට පත් දැරියගේ මව ලටාෂා කියා සිටියාය.

පදිංචිය සඳහා එම ප්‍රදේශයට පැමිණි දින සිට, චෝදනා ලැබ සිටින දරුවාගෙන් සිය පවුලට හිරිහැර සිදු වූ බවත් ඇය පැවසුවාය.

‘ඔහු ඇයට කොලොප්පන් කළා. විවිධ නම් කිව්වා, පහත් ආකාරයට සැලකුවා. ඒ සම්බන්ධයෙන් මට විදුහල්පතිතුමා හමු වෙන්න වුනා. ඔහු ටික කාලයක් නිශ්ශබ්දව හිටියා. නමුත් ඒක පාරටම ඔහු ඇයට වෙඩි තිබ්බා’

Image caption ඔහු ඇයට කොලොප්පන් කළා. නම් කිව්වා, පහත් ආකාරයට සැලකුවා - මරුමුවට පත් දැරියගේ මව

වයස එකොළහට අඩු ඇමරිකානු දරුවන් 559 දෙනකු මේ වසර තුළ වෙඩි වැදී ඝාතනය වී හෝ තුවාල ලබා ඇති බව එක්සත් ජනපද ''තුවක්කු ඝාතන සංස්කෘතිය'' පිළිබඳ දත්ත එක්රැස් කරන සංවිධානයක් පෙන්වා දෙයි.

පිරිමි දරුවා දැරියට වෙඩි තැබීම සඳහා සිය පියා සතු ගිනි අවියකින් භාවිතා කොට ඇති බවයි ප්‍රාදේශීය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

රෝහල් ගත කිරීමෙන් පසු දැරිය මිය ගොස් තිබේ.

බාල වයස්කාරයකු බැවින් චෝදනා ලත් පිරිමි දරුවාගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

මෙම වෙඩි තැබීම වාර්තා වුනේ එකොළොස් දෙනෙකුට මරු කැඳවමින් ඔරිගන් ප්‍රාන්තයේ උසස් පාසලක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් දින දෙකකට පසුවයි.