ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගව මස් සාදය නිසා කාශ්මීර ප්‍රාන්ත සභාවේ ගුටි කෙළි

සාදයකදී ගව මස් සහිත ආහාරවලින් සංග්‍රහ කළ කාශ්මීරයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට ඉන්දියාවේ පාලක පක්ෂය වන බී ජේ පී පක්ෂයේ මන්ත්‍රීවරුන් පහර දී තිබේ.

පහර කෑමට ලක් වූ ස්වාධීන මන්ත්‍රීවරයා මුස්ලිම් ජාතිකයෙකු වන අතර කාශ්මීර ප්‍රාන්ත සභාවේ හින්දු ජාතිකවාදී මන්ත්‍රීවරු ඔහුට අතින් පයින් පහර දෙමින් සිටියදී විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ඔහු බේරා ගත්හ.

'මගේ ආගම'

කාශ්මීර ප්‍රාන්ත සභාවේ විරුද්ධ පක්‍ෂ නායක ඕමාර් අබ්දුල්ලා මෙය හෙලා දකිමින් කතා කළේය.

‘මගේ ආගමට අනුව මත් පැන් පානය තහනම්. ඒ නිසා මට පුලුවන්ද මත් පැන් බොන අයට පහර දෙන්න. මගේ ආගමට අනුව ඌරු මස් කෑම තහනම්. මට පුලුවන්ද ඒවා කැන අයට පහර දෙන්න. ඔබේ විශ්වාසයන් වගේම අපේ විශ්වාසයන්ට ද එකිනෙකා ගරු කළ යුතුයි. අද කළ දෙයින් ඔබේ තත්වය පහලට වැටුනා මිස ඉහලට ගියේ නැහැ.’ ඔහු ප්‍රාන්ත සභාව අමතමින් පැවසීය.

පූජනීය ගවයා

ඉන්දියාවේ බහුතරය වන හින්දු භක්තිකයෝ ගවයා පූජනීය සත්වයෙකු ලෙස සලකති.

පසුගිය වසර තුළ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම ගව මස් අනුභවය හෝ වෙළඳාම තහනම් කරමින් නීති රීති දැඩි කළ අතර ඉන් පසු ගව මස් ආහාරයට ගන්නා උදවියට එරෙහිව ප්‍රචණ්ඩතා වර්ධනය වෙන්නට පටන් ගෙන තිබේ.

නරේන්ද්‍ර මෝදි

මේ අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ හින්දු සහ මුස්ලිම් භක්තිකයන් එකිනෙකාට එරෙහිව සටන් කරනවා වෙනුවට දෙපාර්ශවයම එක් වී දුප්පත් කමට එරෙහිව සටන් කළ යුතු බවයි.

ඔහු මේ බව කියා සිටියේ ගව මස් කෑ බවට චෝදනා ලත් තවත් මුස්ලිම් භක්තිකයෙකු පසුගිය සතියේ මරා දැමීමේ සිද්ධිය ගැන අදහස් දක්වමින්.

ගව මස් කෑමට එරෙහිව නීති රීති දැඩි වන්නට පටන් ගත්තේ අගමැති මෝදිගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවයි.

නමුත් ඉහත කී සිද්ධිය හෙළා දකින ලෙස අගමැතිවරයාට දැඩි පීඩනයක් එල්ල වී තිබුණි.