මුම්බායි තීන්ත ප්‍රහාරය: ශිව් සේනා සාමාජිකයෝ අත්අඩංගුවට

Image copyright AFP
Image caption හිටපු පාකිස්තාන විදේශ අමාත්‍ය කුර්ශිඩ් මාහ්මුද් කසුරි විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීම සඳහා උත්සවයක් සංවිධානය කොට තිබුනේ සුධීන්ද්‍ර කුල්කානි විසිනුයි

ඉන්දීය ක්‍රියාධරයකුගේ හිස මත තීන්ත වත් කිරීම සම්බන්ධයෙන් දක්ෂිණාංශික හින්දු ශිව් සේනා සංවිධානයේ සාමාජිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව මුම්බායි පොලිසිය පවසයි.

ක්‍රියාධරයකු හා ලේඛකයකු වන සුධීන්ද්‍ර කුල්කානි වෙත ශිව් සේනා සංවිධානය තීන්ත ප්‍රහාරයක් එල්ල කළේ සඳුදායි.

හිටපු පාකිස්තාන විදේශ අමාත්‍ය කුර්ශිඩ් මාහ්මුද් කසුරි විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීම සඳහා උත්සවයක් සංවිධානය කොට තිබුනේ සුධීන්ද්‍ර කුල්කානි විසිනුයි.

ශිව් සේනා සංවිධානය මෙම තීන්ත ප්‍රහාරය හැඳින්වූයේ 'සාමකාමී විරෝධය දැක්වීමක්' ලෙසයි.

ග්‍රන්ථය එළිදක්වන අවස්ථාවේ ශිව් සේනා සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම් කොට තිබූ උද්ඝෝෂණයක් පසුව අවලංගු කොට තිබේ.

'අපි හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම ශිව් සේනා සාමාජිකයින්. ඔවුන් ඇප මත නිදහස් කොට තිබෙනවා' මුම්බායි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවසුවේය.

සිරුර මත වූ තීන්ත ඉවත් කිරීමට රෝහල් ගත කළ සුධීන්ද්‍ර කුල්කානි මෙම සිදුවීම හෙළා දකිමින් කියා සිටියේ මෙය ''ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ පහරක්'' බවයි.

කෙසේවෙතත් ශිව් සේනා සංවිධානයේ උද්ඝෝෂණය අවලංගු කිරීමෙන් පසු ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල බාධාවකින් තොරව පැවැත්විණ.

'ඉස්ලාම් ව්‍යාප්තිය නැවැත්වීම සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දකුණු ඉන්දීය සංක්‍රමණිකයන් ඉවත් කොට තැබීමේ' අරමුණින් 1966 වසරේදී ශිව් සේනා සංවිධානය ආරම්භ විය.

මුස්ලිම් ප්‍රජාව ඇතුළු සුළු ජන කොට්ඨාශයන් ශිව් සේනා සංවිධානයේ ඉලක්ක වූ බවට චෝදනා එල්ල වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර