ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාලිබාන් ප්‍රහාර හමුවේ ඇමරිකානු සැලසුමේ වෙනසක්

ඇමරිකාව සහ බටහිර ලෝකය ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් මේ දක්වා සිදු කර ඇති මැදිහත් වීම සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබේදැයි ප්‍රශ්නයක් නැගුවොත් ඔව් හෝ නැහැ යනුවෙන් පිළිතුරු දීමට හැකියාවක් කිසිවකුටත් නොමැත.

මේ වන විට ඇෆ්ගනිස්තානය තුල කොතරම් විදේශ හමුදා බල ඇණි ප්‍රමාණයක් අනුයුක්ත කර සිටියිද යන්න නැගෙන තවත් ප්‍රශ්නයකි.

ඇෆ්ගනිස්තාන රජය නේටෝ හමුදා සහ ඇමරිකාව මේ සම්බන්ධයෙන් දරන මතය විමසා බැලීමෙන් මේ වන විට ඇෆ්ගනිස්තානයේ පවතින තත්වය පිළිබඳ යම් ආකාරයේ පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමටයි මේ උත්සාහය.

ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු 2011 දී බටහිර මිත්‍ර නේටෝ හමුදා සහ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ අනුයුක්ත කරනු ලැබීය.

ඇමරිකාවේ සැලසුම

පටන් ගැන්මේදී නේටෝ හමුදා කණ්ඩායම් එක්ලක්ෂ හතලිස් දහසක් පමණ ඇෆ්ගනිස්තානය තුළ ක්‍රියාත්මක වුවත් පසුව ඇෆ්ගනිස්තාන රජයේ හමුදා වලට පාලනය භාර කරමින් නේටෝ සාමාජික රටවල් සිය හමුදා අනුයුක්ත කිරීම ක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගත්හ.

Image copyright AP

ඇමරිකාව, ජෝර්ජියාව, ජර්මනිය, තුර්කිය, රුමේනියාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය මේ වන විටත් ඇෆ්ගනිස්තානයේ සිය හමුදා කණ්ඩායම් රඳවා සිටින බටහිර රටවල්.

2014 දෙසැම්බර් මාසය වන විට නේටෝ මිත්‍ර හමුදා සිය ප්‍රහාරක මෙහෙයුම් අවසන් කරමින් යුද පුහුණු කිරීම් සහ ත්‍රස්තවාදය වැළක්වීමේ මෙහෙයුම් වෙනුවෙන් කටයුතු කිරීමට දහතුන්දාහසක හමුදා කණ්ඩායම් පමණක් ඇෆ්ගනිස්තානය තුල රැඳවීමට පියවර ගනු ලැබීය.

ඒ වන විට ඇෆ්ගනිස්තානයේ අනුයුක්ත කර සිටි ඇමරිකානු හමුදා කණ්ඩායම් ප්‍රමාණය නමදහස් අටසීයක්.

ඇමරිකා එක්සත් ජනපදයේ සැලසුම වුනේ 2016 වන විට කුඩා තානාපති කාර්යාලයක් සහ හමුදා කණ්ඩායම් 1000ක් පමණක් ඉතිරි කර සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ආපසු ගෙන්වා ගැනීමටයි.

Image copyright Getty
Image caption ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඇමරිකානු හමුදා ජෙනරාල් ජෝන් කැම්ප්බෙල්

ආරක්ෂක ගිවිසුමක්

මේ වන විට ඇමරිකාවේ ස්ථාවරය 2017 වසර දක්වා හමුදා කණ්ඩායම් පන්දහස් පන්සීයක් ඇෆ්ගනිස්තානයේ රැඳවීම බව ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරයි.

ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන ඇමරිකානු හමුදා ජෙනරාල් ජෝන් කැම්ප්බෙල් පසුගිය සතියේ කියා සිටියේ තාලිබාන් මැඩලීමට නම් වැඩිපුර හමුදා කණ්ඩායම් වල සේවය අවශ්‍ය වන බවයි.

ඇමරිකානු ජනාධිපති ඔබාමා පවසන්නේ ඇෆ්ගනිස්තානයේ හමුදා අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය ඇමරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් අත්‍යවශ්‍ය පියවරක් ලෙස හැඳින්විය හැකි බවයි.

Image copyright AP

දශකයකට අධික කාලයක් විදේශ මිත්‍ර හමුදා සමග ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදුනත් මේ දක්වා සාර්ථක ප්‍රථිපල අත් කර ගත හැකි වුනිද යන්න පැන නගින තවත් ප්‍රශ්නයකි.

පසුගිය සති කිහිපය තුල තාලිබාන් කැරලි කරුවන් විසින් ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගරයක් වන කුන්දුස් හි පාලනය අල්ලා ගැනීමට සමත් විය.

පසුව ඇෆ්ගනිස්තාන හමුදා කණ්ඩායම් වල දැඩි ප්‍රයත්නයකින් නගරයෙන් තාලිබාන් කැරලිකරුවන් ඉවත් කිරීම සිදු කෙරුණි.

2001 වසරේ බලයෙන් පහ වීමෙන් පසු තාලිබාන් සංවිධානය විසින් අත් කර ගත් විශාලම ජය ලෙසයි කුන්දුස් ආක්‍රමණය හැඳින්වුණේ.

Image copyright AP
Image caption පසුගිය සති කිහිපය තුල කුන්දුස් නගරය පුරා ඇෆ්ගනිස්තාන රාජ්‍ය හමුදා සහ තාලිබාන් කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ඇති විය.

මේ අතර අල්කයිඩා සංවිධානයත් මේ වන විට ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ඇෆ්ගනිස්තානය පුරා ව්‍යාප්ත ප්‍රහාර දියත් කරමින් සිටියි.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තාන රජය පවසන්නේ ඇමරිකානු හමුදා තවදුරටත් සිය රටේ අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණය සාදරයෙන් පිලිගන්නා බවයි.

2014 වසරේ ඇෆ්ගනිස්තාන රජය ඇමරිකාව සමග ද්වී පාර්ශවීය ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ අතර එමගින් ඇමරිකානු හමුදා වලට ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමටත් රජයේ හමුදා වලට සහය දැක්වීමටත් අනුමැතිය හිමි විය.