'කොප්පු' කුණාටුවෙන් පිලිපීනයට දැඩි හානි

Image copyright EPA

පිලිපීනයේ උතුරු දිග කලාපයට බලපා ඇති ප්‍රචණ්ඩ කුණාටු තත්වය හේතුවෙන් ජන ජීවිතයට දැඩි තර්ජන එල්ල වී තිබේ.

'ලුසොන්' දුපත හරහා පැයට කිලෝමීටර දෙසීයක වේගයෙන් හමා ගිය 'කොප්පු' කුණාටුවට හසු වී එම ප්‍රදේශයේ නිවාස ඇතුළු විදුලි සහ සන්නිවේදන සැපයුම්වලට දැඩි හානි සිදු වී ඇත.

අයහපත් කාලගුණය හමුවේ දහස් ගණනක් වැසියෝ සිය නිවාස අතහැර ආරක්‍ෂිත ස්ථාන කරා පළා ගොස් තිබේ.

Image copyright EPA

අධික වර්ෂාව දින තුනක් පුරා පැවතිය හැකි බවට කාලගුණ අනාවැකි පළ වන අතර ඒ හේතුවෙන් විශාල ජල ගැලීම් සහ නාය යෑම් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවා තිබේ.

'ලුසොන්' දූපතේ ඊසාන දිග ප්‍රදේශයේ වැසියන් දස දහසකට උන් හිටි තැන් අහිමි වී ඇති අතර ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි පිලිපීන ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළේ.