කැනඩාව IS විරෝධී ගුවන් ප්‍රහාරවලින් ඉවත් වෙයි

Image copyright EPA
Image caption මේ වසර අග වන විට සිරියානු සරණාගතයන් 25,000 කැනඩාව වෙත භාර ගන්නා බවට නව අගමැතිවරයා ප්‍රතිඥා දී තිබේ

සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදවා ඇති සිය ප්‍රහාරක ජෙට් යානා ඉන් ඉවත් කර ගන්නා බව කැනඩාවේ නව අගමැති ජස්ටින් ට්රූඩෝ තහවුරු කරයි.

කැනඩා මහ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජය ලබා හෝරා කිහිපයක් ගත වෙත්ම ඔහු එම තීරණය ඇමරිකානු ජනපති බරක් ඔබාමාට දැනුම් දී ඇත.

ගැටුම් පවතින සිරියානු සහ ඉරාක් කලාප තුළ 2016 වසරේ මාර්තු මාසය වන තෙක් යොදවා තිබූ CF-18 වර්ගයේ කැනේඩියානු ප්‍රහාරක ජෙට් යානා නැවත ගෙන්වා ගන්නා බව ට්රූඩෝගේ එක් මැතිවරණ පොරොන්දුවක්.

එහෙත් එම ප්‍රහාරක ජෙට් යානා නැවත ගෙන්වා ගන්නා නියමිත දිනයක් පිළිබඳ නව අගමැතිවරයා විසින් සඳහන් කරනු ලැබ නොමැත.

Image copyright
Image caption සැබෑ වෙනසක් උදෙසා කැනේඩියානුවන් ඡන්දය ප්‍රකාශ කොට ඇති බවයි ලිබරල් පක්ෂ නායක ජස්ටින් ට්රූඩෝ පවසන්නේ

දශකයකට ආසන්න කාලයක් ආණ්ඩු බලයේ සිටි කොන්සර්වේටිව් පක්ෂය පරාජය කොට කැනේඩියානු මහ මැතිවරණයෙන් ට්රූඩෝ නායකත්වය ලබා දුන් ලිබරල් පක්ෂයයි ජයග්‍රහණය කළේ.

පියරේ ට්රූඩෝගේපුත්‍රයා

හතළිස් තුන් වියැති ජස්ටින් ට්රූඩෝ කැනඩාවේ හිටපු අගමැතිවරයකු වූ පියරේ ට්රූඩෝ ගේ පුත්‍රයෙකි.

එසේම ඔහු උසස් විදුහලක හිටපු ආචාර්යවරයෙක් ද වෙයි.

IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව සිදු කරනු ලබන සටන්වලදී කැනඩාව තවදුරටත් වගකීම් සහගත ලෙස කටයුතු කරනු ඇති බවත් නව අගමැතිවරයා සඳහන් කරයි.

ගුවන් යානා ඉවත් කර ගත්තත් උතුරු දිග ඉරාකයේ යොදවා සිටින හමුදා පුහුණු අංශ තවදුරටත් එහි රඳවා තැබෙනු ඇති බවත් කැනඩාවේ නව අගමැතිවරයා පවසයි.

මේ වසර අග වන විට සිරියානු සරණාගතයන් 25,000 කැනඩාව භාර ගන්නා බවටත් නව අගමැතිවරයා ප්‍රතිඥාවක් දී ඇත.

සරණාගතයන් සම්බන්ධයෙන් බොහෝ දුරට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත් හිටපු අගමැති ස්ටීවන් හාපර් සරණාගතයන් භාර ගැනීමේ යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබයි තිබුණේ.

Image copyright EPA
Image caption ගැටුම් පවතින සිරියානු ඉරාක කලාපය තුළ 2016 වසරේ මාර්තු මාසය වන තෙක් යොදවා තිබූ CF-18 වර්ගයේ කැනේඩියානු ප්‍රහාරක ජෙට් යානා නැවත ගෙන්වා ගන්නා බව ට්රූඩෝ විසින් ලබා දුන් එක් මැතිවරණ පොරොන්දුවක්

තමා සහ ඇමරිකානු ජනපති ඔබාමා අතර පැවති සාකච්ඡාව අතරතුර ‘ඔබගේ හිස කෙස් තවමත් පැසී නැතත් ඉතා ඉක්මනින් එය සිදු වනු ඇතැයි' ඔබාමා ප්‍රකාශ කළ බවත් ජස්ටින් ට්රූඩෝ පවසයි.

ඔබාමාගේ අනාවැකිය

ඇමරිකාව සමග අනෙකුත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් කැනේඩියානු නව අගමැතිවරයාගේ බලාපොරොත්තුවයි.

විශේෂයෙන් දේශගුණික විපර්යාස හා ඒ සම්බන්ධ ගැටළු පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන බවයි කැනඩාවේ නව අගමැති ජස්ටින් ට්රූඩෝ පවසන්නේ.

මහ මැතිවරණයෙන් පරාජයට පත් ස්ට්වීවන් හාපර් හිටපු අගමැතිවරයා එකදිගටම තෙවරක්ම රටේ පාලනය හෙබවීය.

ආසන 338 කින් ආසන 184ක බලය තහවුරු කරගනිමින් පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ලබා ගැනීමට ලිබරල් පක්ෂයට මෙවර හැකි විය.