සිරියානු ජනපතිවරයා හදිසියේම මොස්කව් අගනුවරට

Image copyright AFP
Image caption සංචාරය අතරතුර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින් හමු වූ ජනපති අසාද්

සිරියානු ජනපති බෂර් අල් අසාද් රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයක නිරත වී තිබේ.

2011 වසරේ සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව සිරියානු ජනපතිවරයා විදේශ රටක සිදු කළ පළමු සංචාරය මෙයයි.

සංචාරය අතරතුර ජනපති අසාද් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින් හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට මෙන්ම සිරියානු ජනපති අසාද්ගේ හමුදාවලට එරෙහිව සටන් වදින අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කොට රුසියාව ගුවන් ප්‍රහාර මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය මාසයේදීයි.

Image copyright AP
Image caption ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා ශක්තිය ලබා දීමට සුදානම් වූවා පමණක් නොව සිරියානු අර්බුදය සඳහා රුසියාව දේශපාලනික විසඳුම් සොයමින් සිටින බවත් ජනපති පුතින් මොස්කව් අගනුවර පැවති සාකච්ඡාවේදී කියා සිටියේය

මෑතකදී සිදු කළ රුසියානු හමුදා මැදිහත් වීම් සම්බන්ධයෙන් සිරියානු ජනපති අසාද් රුසියාව වෙත සිය කෘතඥතාව පළ කොට තිබේ.

ජනපති අසාද්ගේ ධුරය ආරක්ෂා කර ගැනීමට රුසියානු හමුදා මැදිහත් වීම් රුකුලක් විය.

රුසියානු සහාය නොමැති වූයේ නම් ත්‍රස්තවාදයේ පැතිරීම තවත් බෙහෙවින් වැඩි වනු ඇති බවයි ජනපති අසාද් පවසා ඇත්තේ.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා ශක්තිය ලබා දීමට සුදානම් වූවා පමණක් නොව සිරියානු අර්බුදය සඳහා රුසියාව දේශපාලනික විසඳුම් සොයමින් සිටින බවත් ජනපති පුතින් මොස්කව් අගනුවර පැවති සාකච්ඡාවේදී කියා සිටියේය.

Image copyright AFP
Image caption රුසියානු සහාය නොමැති වූයේ නම් ත්‍රස්තවාදයේ පැතිරීම තවත් බෙහෙවින් වැඩි වනු ඇති බවයි ජනපති අසාද් පවසා ඇත්තේ

සිරියානු ජනපතිවරයාගේ මොස්කව් සංචාරය අඟහරුවාදා සිදු වූ නමුත් ඒ බව නිවේදනය කෙරුණේ බදාදායි.

ඒ වන විට සිරියානු ජනපතිවරයා නැවත දමස්කස් අගනුවර බලා නැවත ගොස් සිටියේය.