ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිලරි කොන්ග්‍රසය ඉදිරියට කැඳවන්නේ ඇයි?

ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් තරගකරුවන් ඉදිරිපත් කිරීමේ උණුසුම මාධ්‍යයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඉදිරි පෙළ බල කණුව හිලරි ක්ලින්ටන් කොන්ග්‍රසය ඉදිරියේ ප්‍රශ්න කිරීමට ලක්ව සිටින්නේ ඇයි?

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරිය හිලරි ක්ලින්ටන්ගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කෙරෙන්නේ ලිබියාවේ බෙන්ගාසි නගරයේ ඇමරිකානු තානාපති ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය මුල් කර ගෙනයි.

2012 සැප්තැම්බර් එකොළොස් වැනිදා ලිබියාවේ බෙන්ගාසි නගරයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ කැරලි කරුවන් විසින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරන ලදී.

බෙන්ගාසි ප්‍රහාරය

ප්‍රහාරයෙන් ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු තවත් පුද්ගලයන් තුන් දෙනෙක් ඝාතනය කෙරිණ.

මෙම සිදුවීම වොෂින්ටනයේ දේශපාලන ගින්නක් ඇති කිරීමට සමත් විය.

Image copyright Reuters

ප්‍රහාරයෙන් පසු ඇමරිකානු ආරක්ෂක සේවය සහ බුද්ධි අංශ වල අසාර්ථකත්වය සම්බන්ධයෙන් ඉතා බැරෑරුම් ලෙස ප්‍රශ්න කිරීම ඇරඹුණි.

ඒ සමගම සිදුවීමේ සැබෑ තොරතුරු වසන් කිරීමක් සිදු වී ඇති බවට චෝදනා එල්ල වූ අතර රිපබ්ලිකන් පාක්ෂිකයන් ජනාධිපති ඔබාමාගේ පාලනය දෙසට ඇඟිල්ල දිගු කිරීමට පටන් ගත් බැවින් ජාතික ආරක්ෂක උපදේශිකා සුසාන් රයිස් ඇමරිකානු රූපවාහිනි වැඩසටහන් වල දිගින් දිගටම ප්‍රශ්න කෙරෙනු දක්නට ලැබුණි.

ප්‍රහාරයට පෙර දිනයේ කයිරෝ නගරයේ ස්වාභාවිකව හට ගත් මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක දර්ශන යූ ටියුබ් වෙබ් අඩවියේ පල කිරීම හේතුවෙන් මෙලෙස බෙන්ගාසි නගරයේ ඇතිවූ උණුසුම්කාරී තත්වයත් සමග මෙම ප්‍රහාරය එල්ල කිරීම සිදු වී ඇති බවත් ප්‍රහාරයට පෙර සුදානමක් හෝ සැලැස්මක් තිබී නැති බවත් පසුව ධවල මන්දිරය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

තොරතුරු වසන් කිරීම

Image copyright AP

කෙසේ වෙතත් පසුව මෙය සැලසුම් සහගත ප්‍රහාරයක් බව සනාථ කෙරෙන සාක්ෂි ඉදිරිපත් වීමෙන් පසු රිපබ්ලිකන් පක්ෂය ඔබාමා ජනාධිපතිවරයාට චෝදනා කළේ මෙම සිදුවීම දේශපාලන වාසි තකා හිතාමතාම ඇති කළ තත්වයක් ලෙසයි.

මෙම තත්වය යටතේ ඇමරිකානු රජය විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය කරුණු අනාවරණය කිරීම සඳහා සාමූහික පරීක්ෂණ හතක් මෙහෙයවන ලදී.

බුද්ධි අංශ වලින් ඉදිරිපත් කෙරුණු පෙර තොරතුරු සහ පරීක්ෂණ යටතේ සොයා ගත් නව තොරතුරු එකිනෙකට පරස්පර බවට කරුණු හෙළි වුනත් ධවල මන්දිරය විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළ බව තහවුරු වුයේ නැත.

කෙසේ වෙතත් රිපබ්ලිකන් පක්ෂය විසින් ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට නව කොමිසමක් පත් කර තිබේ.

එබැවින් බරක් ඔබාමාගෙන් පසු ඇමරිකාවේ ජනාධිපති ධුරයට තරඟ වැදීමට සැරසෙන හිලරි ක්ලින්ටන් නැවතත් කොන්ග්‍රසය ඉදිරියේ ප්‍රශ්න කිරීමට නියමිතයි.

කොන්ග්‍රසය ඇමතූ හිලරි ක්ලින්ටන් කියා සිටියේ මෙය දේශපාලන දඩයමක් මිස වෙන කිසිවක් නොවන බවයි.

හිලරි ක්ලින්ටන් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කිරීමට සිය පෞද්ගලික ඊ මේල් ගිණුම යොදා ගෙන ඇති බව අලුතින් පත් කෙරුණු කොමිසම විසින් සොයා ගැනීමත් සමග ඇය නැවතත් ප්‍රශ්න කිරීම් වලට යොමු කෙරුණි.

දේශපාලන දඩයමක්

මේ වන විට මූලික කරුණු තුනක් සම්බන්ධයෙන් හිලරි ක්ලින්ටන්ට කොන්ග්‍රසයට පිළිතුරු දීමට සිදුව තිබේ.

01 ලිබියාවේ ඇමරිකානු තානාපති ස්ටෙෆාන් විසින් ආරක්ෂක අංශ වලට ප්‍රහාරය සිදු වීමට පෙර ලබා දුන් ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වූයේ ඇයි?

02 සැලසුම් සහගත ප්‍රහාරයක් ස්වාභාවික ප්‍රහාරයක් බවට සාවධ්‍ය තොරතුරු බුද්ධි අංශ ඉදිරිපත් කළේ ඇයි?

03 රජයේ රහස් ගත තොරතුරු හුවමාරු කිරීමට සිය පෞද්ගලික ඊ මේල් ගිණුම භාවිතා කලේ ඇයි?

Image copyright Getty

ඊට අමතරව මේ වන විට රහස් ඔත්තු සේවය සහ ඇමරිකානු නීතිපති කාර්යාලය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර හිලරි ක්ලින්ටන් ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ලෙස පියවර ගෙන සිය රාජකාරිය ඉටු කළාද යන්න පරීක්ෂා කෙරෙණු ඇති.

බෙන්ගාසි ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන මෙම පරීක්ෂණ මේ වන විට ඓතිහාසික ‘වෝටර් ගේට්’ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලටත් වඩා දීර්ඝ කාලයක් ගෙන ඇති අතර මේ වෙනුවෙන් වෙන් කර ඇති මූල්‍යමය ප්‍රතිපාධන සීමා රහිත කොන්දේසි යටතේ පවතියි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය වෙනුවෙන් සටන් වදින හිලරි ක්ලින්ටන්ට එරෙහිව සිදු කෙරෙන දේශපාලන දඩයමක් ලෙස ඇතැම් විවේචකයන් මෙම කොමිසම පිටු දැක්කත් මෙයින් හිලරිගේ දේශපාලන සටනට ඉතා බැරෑරුම් අයුරින් බලපෑම් එල්ල කෙරෙන බවයි විචාරකයන්ගේ අදහස.