ගිරි වනයේ සිංහ රැජිනියෝ

‘ගිර්’ වනාන්තරය ආසියානු සිංහයාට අද ඇති එකම නිවහනයි. වන ගැබ අයත්වන්නේ ගුජරාත් ප්‍රාන්තයට.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි 2007 වසරේ අමුතු පියවරක් ගෙන් තිබුණි. ඒ පළමු වරට කාන්තා වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට පියවර ගැනීම.

රසිලා වාදෙර් ඔවුන් අතර එක් නිලධාරිනියක්.

‘ගිර්’ වනසංරක්ෂණ නිලධාරීන්ගෙන් 33% ක් කාන්තාවන් විය යුතු යයි මහ ඇමති මෝඩි නියෝග කර තිබුණි.

රසිලා වාදෙර් නම් තරුණිය එම රැකියාව තෝරා ගන්නා විට ‘ගිර්’ වනය ,එය නිවහන කර ගත වන ජීවීන් හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැන කිසිම දෙයක් දැන සිටියේ නැහැ.

සිංහයන් අතරට

ඇය අද බියක් නොමැතිව කතා කරන්නේ සිය රාජකාරී කුටිය පිටුපසින් ඇසෙන සිංහ ගර්ජනාව පවා ගණන් නොගනිමින්.

‘මගේ තාත්තා මැරුනේ මම පුංචි කාලෙමයි. අම්ම ගොවිපොලක රස්සාවක් කරලා මමයි මගේ මල්ලියි ඉස්කෝලේ යැව්වා. අපේ ගම හරිම ගතානුගතික මිනිසුන්ගෙන් පිරුන ගමක්.ගමේ මිනිස්සු අම්මට කියල තියෙනවා- ඇයි උඹ මේ කෙල්ලන්ට උගන්නන්න මැරෙන්නේ?කසාදයක් බැඳලා දීලා මිනිහට කෑම පිහල දෙන්න උගන්නපන් කියල. ඒත් මට අකුරු ඉගෙන ගැනීමේ පිස්සුවක් තිබ්බ. ඒක නිසා මට අම්ම මාව ඉස්කෝලේ යැව්වා’

රසිලා වාදෙර් තමන්ගේ පවුල් පසුබිම සහ ජීවිතය පටන් ගත හැටි කිව්වේ එවැනි වචන මාලාවකින්.

2007 වසරේ මේ අතරයි ඇයට වන රක්ෂණ නිලධාරීන් බඳවා ගැනීමේ පුවත අසන්නට ලැබුනේ. ඇය මල්ලිට රස්සාව අරන් දෙන්නයි ඔහුත් එක්ක බඳවා ගැනීමේ මධ්‍යස්ථානයට ගමන් ගත්තේ.

පිරිමින්ගේ රැකියාවක්

ඒත් මල්ලි ශාරීරික යෝග්‍යතා පරීක්ෂනයෙන් අසමත්. දුවන පනින පරීක්ෂණ වලින්. ඒත් අන්තිමේ දී තමාගේ වාසනාවට තමාට රස්සාව ලැබුන බවයි රසිලා වාදෙර් පවසන්නේ.

රස්සාව වන සතුන් රැක ගැනීම.සතුන් අනතුරු ආදියෙන් බේරා රැක ගැනීම .

ආරම්භයේ දී රස්සාව ටිකක් කම්මැලි එකක්. අනිත් අතින් පිරිමි වනසංරක්ෂකයන් තමන් අතර කෙල්ලක් ඉන්නවටත් ඔවුන් මනාප නොවූ හැඩයි.

‘අපට භාර වෙලා තියෙන්නේ වන සතුන් රැක බලා ගන්නද? නැත්නම් මේ කෙල්ල පරිස්සම් කරන්නද? එය වනසංරක්ෂක නිලධාරීන් ඇසු ප්‍රශනයක්. මම කිව්වා - මට අලි ඇතුන් බලා ගන්න ඉඩ දීපල්ලා කියල .මම වැඩේ පටන් ගත්ත’

තරුණ වනසංරක්ෂක නිලධාරිනිය අතීතය මෙනෙහි කලේ එලෙසයි.

රැකියාව අතින් අද ඇය සිටින්නේ ගව් ගණනක් ඉදිරියෙන්. නවසීයක් පමණ සතුන් බේරා ගැනීමට මේ මිනිස් වනලිය මැදිහත් වුනා. ඇය බේරා ගත් සතුන්ගෙන් 200ක් සිංහයන්. 425 ක් ව්‍යාඝ්‍රයන්.

ලිඳේ වැටුන ව්‍යාඝ්‍රයා

පසුගියදා ‘ඩිස්කවරි’ රුපවාහිනීයේ විකාශනය කෙරුණ The Lion Queens of India ‘ඉන්දීයාවේ සිංහ රැජිනියන්’ නම් වැඩ සටහන් මාලාවේ සෙසු කාන්තා වනසංරක්ෂණ නිලධාරිනියන් අතරට රසිලා වාදෙර් ද ඇතුලත් වුනා.

‘මගේ ජීවිතයේ නොමැකෙන මොහොත 2012 අවුරුද්දේ මාර්තු 18 වෙනිදා. එදා උරුලෑවෙක් ලුහු බඳිද්දී ලිඳකට වැටිච්ච ව්යාග්‍රයෙක් අපට හසු වුනා.අලුත හාරපු ලිඳක්.අඩි හැටක් විතර ගැඹුරු ලිඳක්. වාසනාවට වතුර නැහැ. ඔසුවක් විදලා කොටිය උඩට ගන්න අමාරුයි. මොකද දුර වැඩියි.අන්තිමේදී මම කූඩුවක් මගින් ලිඳට බැස්ස. පුංචි කූඩුවක්.තුවක්කුවකුත් තිබුන. මම යකඩ කූඩුව ඇතුලෙ. කූඩුව ලිඳට පාත් කරන කොට කේන්තියෙන් හිටිය කොටිය ගොරවන්න ගත්ත. ඇත්තෙන්ම මම බය වුනා.අන්තිමේදී කොටියට කිට්ටු වෙලා ඔසුවක් විදලා කඹ වලින් හදපු දැලකට කොටිය ඇතුල් කරලා උඩට ගත්ත’

එය ඇයගේ එක් අමතක නොවන බේරා ගැනීමක් පමණයි.

සැමියාත් මනාපයි

රසිලා වාදෙර් පසුගිය අවුරුද්දේ විවාහ වූවාය.

‘මම බඳින්න ඉස්සර වෙලාම සැමියාට කිව්වා මගේ රස්සාව ගැන. ඒක ‘දවස් හතේ පැය විසි හතරේ’ ජොබ් එකක්. මම ඔහුට කිව්වා- රාත්‍රී තුනට වුනත් මට රස්සාවට යන්න වේවි කියල. අනික මම කිව්වා මම වැඩ කරන්නේ පිරිමි නිලධාරීන් එක්ක බවත්. ඔහු මනාප වුනා. ඔහුට තේරෙනවා. ගෙදර කිසිම ගැටළුවක් නැහැ’

රසිලා වාදෙර් සිය ගෙදොර දොරේ තොරතුරුත් විස්තර කළාය.

ඇත්තන්ම ඉන්දීය වනයේ සිංහ රැජිනියන් අතර සිටින්නේ රසිලා වාදෙර් විතරක් නොවෙයි.

‘කගදා’ වන ජීවී සංරක්ෂණය තෝරා ගත් තවත් කාන්තාවක්.

ගතානුගතිකවදී ‘රාජ්පුත්’ කුලයට අයත් ‘කගදා’ කෙල්ලන් අට දෙනකු සහිත පවුලක තවත් කෙනෙක්.

‘අපේ කුලයට අනුව ගෑනුන්ට අයිති කසාද බැඳීම ,පවුල රැක බලා ගැනීම,ඉවීම පිහීම සහ රෙදි සේදීම ගෙදර දොර පිරිසිදුව තබා ගැනීම.’

කගදා සිය වතගොත විස්තර කලේ එවැනි වචන සමුදායකින්.

කගදා කියන කතාව

වන රක්ෂණ නිලධාරී තනතුරු 600 කට අයදුම්පත් හය ලක්ෂයක් තිබුනා.දෙමව්පියන්ට රහසින් සිය සහෝදරියගේ සැමියාගේ උදව්වෙන් රැකියාව අයදුම් කර තනතුරක් ලබා ගැනීමට කගදා සමත් වූවාය.

කගදා සමඟ විවෘත ජීප් රථයකින් 'ගිර්' වනයට ඇතුල් වූ ගීතා පාන්ඩේ ගේ අත්දැකීමක් දැන්.

‘අපි ගිය ජීප් එක පයින් මුර සංචාරයේ යමින් සිටි මුර කාරයන් තුන් දෙනෙක් ළඟ නැවැත්තුව. ඔවුන් අතේ තියෙන්නේ ලී කෑල්ලක් විතරයි.මම වම් පැත්තට හැරිලා බැලුවම, මෙන්න! පැටව් පස් දෙනෙක් එක්ක සිංහ දෙනුන් හතර දෙනෙක්!කගදා මගේ තත්වය දැකල කිව්වා - ‘සිංහයෝ කියන්නේ රාජකීය සත්තු! උන් උඹ දිහාවත් මගේ දිහාවත් බලන්නේ නැහැයි’ කියල. කගදා කියන හැටියට සිංහයෙක් පහර දෙන්නේ, ඔවුන්ගේ සීමාවට ඇතුල් වුනොත්, පැටවුන්ට අනතුරක් කරාවි කියල හිතුනොත් සහ ඔවුන් සංසර්ගයේ නිරත වෙද්දී කිට්ටු විනොත් විතරයි'.

මේ සියලුම කාන්තාවන් ගිර් වනයේ බිහිසුණු යයි සම්මත වන සතුන්ගේ ගැලවුම් කාරියන්.

මුලින් කී හැටියට ඔවුන් විසින් බේරා ගන්නා ලද සිංහයන් ව්යාග්රයන් ගේ සංඛ්‍යාව දැන් සටහන් වන්නේ ඉලක්කම් හතරේ සංඛ්‍යා වලින්.

ගුජරාටයේ තවත් කෙල්ලන් මේ රැකියාව සඳහා උනන්දු වෙන බවයි ඔවුන් පවසන්නේ.