හොංකොං මගී බෝට්ටු අනතුරින් 124කට තුවාල

Image copyright EPA

චීනයේ මකාවු නගරයේ සිට හොංකොං බලා අධි වේගයෙන් ගමන් කරමින් තිබූ මගී ප්‍රවාහන බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් එකසිය විසි හතර දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව හොංකොං බලධාරීන් පවසයි.

මගීන් එක සිය හැත්තෑ හතර දෙනෙකු සහ කාර්ය මණ්ඩලය රැගත් යාත්‍රාව මුහුදේ තිබූ යම් වස්තුවක ගැටීමෙන් මෙලෙස අනතුරට පත් වී ඇති අතර අනතුරෙන් දැඩි අලාබහානි සිදු වූ යාත්‍රාව තුලට මුහුදු වතුර ගලා ඒමට පටන් ගෙන තිබේ.

අනතුරට හේතුව තවමත් තහවුරු කරගෙන නැති අතර බලධාරීන් පවසන්නේ මේ පිළිබඳ සෙවීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Image copyright EPA

වෙරළ ආරක්ෂක බෝට්ටු යොදා ගත් පොලිසිය කඩිනමින් අනතුරට ලක් වූවන් ගලවා ගැනීමට ක්‍රියා කර ඇති අතර බොහෝ මගීන්ගේ අතපය සහ මුහුණු වලට තුවාල සිදු වී තිබූ බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ.

හොංකොං බලධාරීන් පවසන්නේ අද (සඳුදා) උදෑසන වන විට අනතුරට ලක් වූවන්ගෙන් පස් දෙනෙකු බරපතළ තත්වයේ පසු වන අතර තවත් තිස් දෙනකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ලෝකයේ ඉතාමත් කාර්ය බහුල වාරිමාර්ග සේවයක් පවතින හොංකොංහි ආරක්ෂක විධිවිධාන ඉතා ඉහල මට්ටමක පැවතියත් පසුගිය වසර කිහිපය තුල බරපතළ අනතුරු කිහිපයක් සිදු විය.