ඇෆ්ගන් - පාකිස්තාන භූමිකම්පාවෙන් සිය ගණනක් මරුට

Image copyright BBC Afghan
Image caption ඇෆ්ගනිස්තානයේ ඝාන්සි ප්‍රදේශයේ හානියට පත් ගොඩනැගිල්ලක්

ඊසාන දිග ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ ඇති වූ දරුණු වූ භූමි කම්පාව හේතුවෙන් පුද්ගලයන් දෙසීය දෙනෙකුට අධික පිරිසක් මරුමුවට පත් වෙති.

ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් පාකිස්තානයේ පනස් දෙනකු මරුමුවට පත් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

භූමි කම්පාව ඇති වීමත් සමග ගොඩනැගිල්ලෙන් පිටතට පැන යෑමට උත්සාහා කළ ඇෆ්ගනිස්ථානයේ පාසල් දැරියන් දොළොස් දෙනෙකු තෙරපී පයට පෑගී මරුමුවට පත් වී තිබේ.

රෝහල් බලධාරීන් කියා සිටියේ තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ දැරියන් අතරින් කිහිප දෙනකුගේ තත්වය බරපතළ බවයි.

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකර කලාපයේ හට ගෙන ඇති එම භූමි කම්පාව භූකම්පන මාපකයේ මැග්නිටියුඩ් 7.7 ලෙස සටහන් වී ඇති බවයි ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය නිවේදනය කළේ.

භූචලනයත් සමග ඉන්දියාවේ දිල්ලි අගනුවර වැසියන් වීදි දෙසට දුව ගිය බව එම අවස්ථාව ඇසින් දුටුවෙක් පැවසුවේය.

Image caption භූචලනයත් සමග වීදි දෙසට දුව ගිය ඉන්දියාවේ දිල්ලි අගනුවර වැසියන්

භූචලනය හේතුවෙන් දුරකථන සන්නිවේදන පහසුකම් විසන්ධි වී ඇති බවයි පාකිස්තානයේ ලාහෝර් නුවර සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ.

මෙම කලාපය තුළ මීට ඉහතදීත් ප්‍රබල භූ කම්පන වාර්තා වී තිබේ.

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ 2005 වසරේ ඇති වූ භූමි කම්පාව හේතුවෙන් මරුමුවට පත් පිරිස 75,000 කට අධිකයි.

එම භූමි කම්පාව භූකම්පන මාපකයේ මැග්නිටියුඩ් 7.6ක් ලෙස සටහන් විය.

මේ වසරේ අප්‍රේල් මාසයේ නේපාලයේ ඇති වූ දරුණු භූමි කම්පාව හේතුවෙන් 9000 කට ආසන්න පිරිසක් මරුමුවට පත් වූහ.

නේපාලයේ ඇති වූ භූමි කම්පාව හේතුවෙන් විනාශයට පත් හෝ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 900,000 කට ආසන්නයි.