ඉන්දීය දැරියන් දෙදෙනාගේ මරණ තවමත් අභිරහසක්

Image copyright AFP
Image caption තරුණියන් දෙදෙනාගේ සිරුරු එල්ලා තිබූ අඹ ගස

පසුගිය වසරේ ඉන්දියාවේ ඥාති සොහොයුරියන් දෙදෙනෙකු ඝාතනය කොට ගසක එල්ලා දැමුණු බවට සැක කළ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

තරුණියන් දෙදෙනා දූෂණයට ලක් වී ඇති බව මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු කෙරුණත් පොලිස් වාර්තාවේ සඳහන් වන්නේ ලැජ්ජාව ඉවසා ගත නොහැකිව එම තරුණියන් දෙදෙනා සිය දිවි හානි කර ගෙන ඇති බවයි.

එක් තරුණියක් එම ප්‍රදේශයේ තරුණයෙකු සමග පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවකට ඇගේ ඥාති සොයුරිය උපකාර කළ අතර දෙදෙනාම තමන් කළ වැරදි සම්බන්ධයෙන් වූ ඉවසා ගත නොහැකි ලැජ්ජාව නිසා සිය දිවි හානි කර ගන්නට ඇති බවයි පොලිස් වාර්තාවේ සඳහන් වන්නේ.

මරණ පරීක්ෂණ වාර්තාව

Image copyright AFP

කෙසේ වෙතත් මිය ගිය තරුණියන් දෙදෙනාගේ ඥාතීන් විසින් ඉදිරිපත් කරනු ලැබූ පෙත්සමක් සැලකිල්ලට ගත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත අධිකරණය පොලිස් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් පස් දෙනා මේ වන විට අධිකරණයට කැඳවා ඇති අතර නැවත විභාගයක් පැවැත්වීමට තීරණය කළ බවයි අධිකරණය ප්‍රකාශ කළේ.

වයස අවුරුදු දාහතර සහ පහළොස් වියේ පසු වූ ඥාති සොයුරියන් දෙදෙනාගේ සිරුරු උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ අඹ ගසක එල්ලා තිබිය දී 2014 මැයි මස විසි අට වැනිදා සොයා ගනු ලැබුණි.

ප්‍රාදේශීය බලධාරීන් විසින් සිදු කරන ලද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ තරුණියන් දෙදෙනා දූෂණයට ලක් කර එල්ලා මරා දමා ඇති බවයි.