සිරගත වූ බ්ලොග්කරුට ජාත්‍යන්තර සම්මානයක්

Image copyright Reuters

ඉස්ලාම් ධර්මයට අපහාස කළ වරදට වසර දහයක සිර දඬුවමක් සහ කස පහර දහසක දඬුවමකට යටත් කරනු ලැබ සිටින සෞදි බ්ලොග්කරු රයිෆ් බදාවි ‘සක්හරෆ්’ (Sakharov human rights prize) මානව හිමිකම් සම්මානය හිමි කර ගනියි.

‘සක්හරෆ්’ මානව හිමිකම් සම්මානය ලබා ගැනීම සඳහා රයිෆ් බදාවි වහාම නිදහස් කරන ලෙස යුරෝපා පාර්ලිමේන්තු ප්‍රධානී සෞදියේ රජ සල්මාන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

භාෂණයේ නිදහස වෙනුවෙන් සටන් කළ රයිෆ් බදාවි මේ මස මුල් භාගයේදී ‘පෙන් පින්ටර් ත්‍යාගය’ ද (Pen Pinter Prize) හිමි කර ගනු ලැබීය.

Image copyright AFP
Image caption රයිෆ් බදාවි නිදහස් කරන ලෙස ඉල්ලා පැවති උද්ඝෝෂණයක්

1988 සිට යුරෝපා පාර්ලිමේන්තුව විසින් අදහස් ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වූ ‘සක්හරෆ්’ ත්‍යාගය ලොව පුරා මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින සංවිධාන සහ ක්‍රියාධරයන් වෙත ප්‍රදානය කරනු ලබයි.

රයිෆ් බදාවි විසින් පවත්වා ගෙන ගිය ‘නිදහස් සෞදි ලිබරල්වාදීන්’ නම් වූ වෙබ් අඩවිය, ඉස්ලාම් ධර්මයට අපහාස කරන බවට 2012 වසරේදී චෝදනා එල්ල වූ අතර සෞදි රජය විසින් පවුම් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක දඩයක්, කස පහර දහසක් සහ වසර දහයක සිර දඬුවමකට ඔහු යටත් කරන ලදී.

රයිෆ් බදාවිගේ බිරිඳ එන්සාෆ් හෙදර්, දරුවන් සමගින් මේ වන විට කැනඩාවේ ජීවත් වන අතර ඇය කියා සිටියේ යුරෝපා පාර්ලිමේන්තුව විසින් ප්‍රදානය කිරීමට සැරසෙන මෙම මානව හිමිකම් ත්‍යාගය සිය පවුලට නව බලාපොරොත්තුවක් ලබා දෙන බවයි.