සිරියානු සාකච්ඡා වියානා නගරයේ

Image copyright AP

සිරියාවේ සටන් වදින සියලු කණ්ඩායම්වල පිටස්තර ආධාරකරුවන් අතර සාකච්ඡා ඔස්ත්‍රියාවේ ‘වියානා’ අගනුවර දී ආරම්භ විය.

මෙවර සාකච්ඡාවල විශේෂත්වයක් වන්නේ ඉරානය පළමු වරට ඊට හවුල් වීමයි.

සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ අනාගතය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය යන රටවල් ඉරානය සහ රුසියාව සමඟ දිගුකාලීන ආරාවුලක පැටලී සිටිති.

එහෙත් සිරියානු ජනාධිපතිවරයාට සීමිත කාලයක් බලයේ සිටීමට ඉඩ හරිනු ලබන අන්තර්කාලීන පාලන අදියරක් සඳහා එකඟතාවක් ඇතිකර ගැනීමේ අද්දරට ප්‍රතිවාදී පාර්ශවයන් සමීප වී ඇති බවයි රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පවසන්නේ.

Image copyright AP

මහ මැතිවරණයක් දෙසට මග හෙළි කෙරෙන සටන් විරාමයක් සහ සමා ප්‍රදානයක් ඇතුළු ක්‍රියාදාමයක් ඇතුළත් වැඩ පිළිවෙලක් සාකච්ඡාවට ගැනෙමින් පවතින බව දැනගන්නට ලැබෙන බවයි බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.

වියානා සාකච්ඡාවලට සිරියානු ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට ආරාධනා කරනු ලැබ නැත.