තරුණිය දූෂණය කළ රියදුරුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්

Image copyright AP
Image caption කුලී රථය තුළ නින්දට වැටුණු තමාව පෙර සැලසුම් කරන ලද ස්ථානයකට ගෙන ගොස් පහර දීම සිදු කළ බවයි දූෂණයට ලක් වූ තරුණිය කියා සිටියේ.

ඉන්දීය තරුණියක් දූෂණය කළ බවට වරදකරු වූ කුලී රථ රියදුරෙකුට ඉන්දීය අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළේය.

අධිකරණය ඒ බව ප්‍රකාශ කළේ 'ඌබර්' නමැති කුලී රථ සේවයේ රියදුරකු වශයෙන් සේවය කළ ශිව් කුමාර් යාදේව් නැමැත්තා එරෙහිව එල්ල වූ දූෂණ චෝදනාවලට ඔහු වරදකරු බව තීන්දු වීමෙන් අනතුරුවයි.

දිල්ලි නුවර විශේෂිත අධිකරණයක් හමුවේ සිදු කළ කඩිනම් නඩු විභාගයකින් අනතුරුව විසි හය හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ වරදට අමතරව තර්ජනය කිරීම හා පැහැර ගෙන යෑමේ අපරාධවලටද ඔහු වරදකරු බව තීන්දු කෙරුණේ මීට සති කිහිපයකට ඉහතදීයි.

කුලී රථය තුළ නින්දට වැටුණු තමාව පෙර සැලසුම් කරන ලද ස්ථානයකට ගෙන ගොස් පහර දීම සිදු කළ බවයි දූෂණයට ලක් වූ තරුණිය කියා සිටියේ.

ජංගම දුරකථන හරහා කුලී රථ වෙන් කරවා ගත හැකි 'ඌබර්' සහ එවැනි අනෙකුත් කුලී රථ සේවා ආයතන කිහිපයක් තහනම් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගත්තේ මෙම දූෂණ සිදුවීමෙන් අනතුරුවයි.

අන්තර්ජාලය ඔස්සේ වෙන් කර ගන්නා එවැනි කුලී රථ පදවන රියදුරන්ගේ අනන්‍යතාවය නිසි පරික්ෂාවට ලක් කිරීමට නොහැකි බවට බලධාරීහු චෝදනා කළහ.

ඌබර් කුලී රථ සේවය සඳහා ඉන්දියාව තුළ සාපේක්ෂව වැඩි ගාස්තුවක් අය කෙරෙන අතර එය තරුණ වෘත්තිකයන් අතර ජනප්‍රිය කුලී රථ සේවයක්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර