රුසියාව ඊජිප්තු ගුවන් ගමන් අත්හිටවයි

Image copyright AFP

රුසියානු ගුවන් යානය ඊජිප්තුවේ දී කඩා වැටීමට හේතුව සොයා ගන්නා තුරු ඊජිප්තුව හා රුසියාව අතර පියාසර කෙරෙන සියලු ම මගී ගුවන් යානා අත්හිටවීමට රුසියාව තීරණය කර තිබේ.

මගීන් 224 ක් රැගෙන පියාසර කරමින් තිබුණු රුසියානු මගී ගුවන් යානය සිනායි අර්ධද්වීපයේ දී කඩා වැටීමෙන් මගීන් සියලු දෙනාම මියගිය අතර, ගතව ගිය දශකය ඇතුළත එයාර්බස් යානයක් සම්බන්ධ බරපතලම ගුවන් අනතුර මෙයයි.

මේ අතරතුර ඊජිප්තුවේ සිටින බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් විශේෂ ආරක්ෂක විධිවිධාන යටතේ ආපසු ගෙන ඒම ආරම්භ වී ඇත.

බ්‍රිතාන්‍ය ගුවන් යානා නතර කිරීමට අගමැති කැමරන් ගත් තීරණය ඊජිප්තුවේ විවේචනයට ලක් විය.

'පරිණත නොවන තීරණයක්'

Image copyright EPA

ඊජිප්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ඔරාබි කියා සිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඩේවිඩ් කැමරන් අගමැතිවරයා විසින් ගනු ලැබූ තීරණයට ඊජිප්තුවේ විරුද්ධත්වයක් නැතත් මෙය පරිණත තීරණයක් ලෙස පිළිගත නොහැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඊජිප්තු මන්ත්‍රී මොහොමඩ් ඔරාබි පවසන්නේ අනතුරට ලක් වූ යානයේ කළු පෙට්ටියවත් තවම පරීක්ෂා කර නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීමට පෙර බ්‍රිතාන්‍ය සිය ගුවන් ගමන් නවතා දැමීම පිළිගත නොහැකි බවයි.

දැඩි ආරක්ෂක පියවර යටතේ ගෙන එන බ්‍රිතාන්‍ය සංචාරකයන්ගමන් මලු රැගෙන ඒමට වෙනත් යානයක් යොදා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය පවසන්නේ රුසියානු යානය බෝම්බයක් මගින් බිම හෙලා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.