වින්ග්ස්ටාර්: ඉන්දියාවේ අලුත්ම වීරවරිය

Image copyright Tinkle

ඉන්දියාවේ ලිංගිකත්වය, වර්ණය, කුලය පදනම් කර ගෙන සිදු කෙරෙන වෙනස් කම් සහ නැගී එන අපරාධ රැල්ලට එරෙහිව සටන් කරන්න දැන් ඔවුන්ට වීරවරියක් සිටියි.

අවුරුදු තිස්පහක කාලයක් ඉන්දියාවේ දරුවන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වූ ‘ටින්කල්’ කාටුන් සමාගම විසින් නවතම කාන්තා සුපිරි වීර චරිතයක් හඳුන්වා දී තිබේ.

‘ටින්කල්’ සමාගම ඉන්දීය දරුවන් අතරට හඳුන්වා දුන් දඩයක් කාර ‘ශිකාරි ශම්බු’, ගමක විකට චරිතයක් නිරූපනය කරන ‘සුපන්ඩි’ වැනි කාටුන් චරිත අදත් දරුවන් අතර පමණක් නොව ඉන්දීය වැඩිහිටියන් අතරද ඉතා ජනප්‍රියයි.

කෙසේ වෙතත් මේ දක්වා ටින්කල් සමාගම වැඩි අවධානයක් යොමු කර තිබුනේ පුරුෂ වීරචරිත වලටයි.

නමුත් මේ වන විට 'ටින්කල්' සමාගම ඔවුන්ගේ සංස්කෘතියෙන් බැහැරව කාන්තා වීර චරිතයක් හඳුන්වා දීමට සැරසෙන බවයි බීබීසි වාර්තාකරු විකාස් පාන්ඩේ පවසන්නේ.

සංස්කෘතියෙන් බැහැරව

මේ පුංචි වීරවරියගේ නම මපුයි කව්ලිම්.

Image copyright Tinkle

දහතුන් හැවිරිදි මපුයි කව්ලිම් ජීවත් වන්නේ ඊසාන දිග ඉන්දියාවේ මසොරෑම් ප්‍රදේශයේයි.

ඇයගේ පියා විද්‍යාඥයෙක්.

මපුයි වින්ග්ස්ටාර් කියන වීර නමින් තමන්ගේ තාත්තා හදල දෙන නවතම තාක්ෂණික උපකරණ භාවිතා කරමින් ඉන්දියාවේ අපරාධ රැල්ලට එරෙහිව මෙම පුංචි වීරවරිය සටන් කරයි.

වර්ණ වාදය සහ ලිංගිකත්වය පදනම් කර ගෙන සිදු කරනු ලබන වෙනස්කම් ක්‍රියාත්මක වන බවට නිතර චෝදනා ඉදිරිපත් වන ඊසාන දිග ඉන්දියාවේ ඉපදුනු අවුරුදු දහ තුනක සාමාන්‍ය ගැහැණු දරුවෙකු වුවත් එම අසාධාරණ අපරාධ වලට එරෙහිව නැගී සිටිමින් සටන් කිරීමට ඉදිරිපත් වීම මෙම වීර චරිතයේ විශේෂත්වයයි.

'ටින්කල්' සමාගමේ කතෘ රාජනී තින්දියාත් බීබීසියට කියා සිටියේ පසුගිය වසර තුනක කාලය ඇතුළත ටින්කල් සමාගම විසින් කාන්තා වීර චරිත දෙකක් හඳුන්වා දී ඇති අතර වින්ග්ස්ටාර් තෙවන වීරචරිතය වනු ඇති.

කතෘ රාජිනි කියා සිටියේ මෙම තීරණය සමාගම විසින් ඉතා බැරෑරුම් ලෙස හිතා මතා ගත් තීරණයක් බවයි. 'මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ ඒක ලිංගික පදනමක් මත නෙවෙයි. අපේ ඔක්කොම සුරංගනා කතා වලින් විස්තර කරන්නේ වීරයෙක් කොහොමද අනතුරට ලක් වෙලා ඉන්න කුමාරිකාවක් බේරා ගන්නේ කියලයි. ඉතින් අපි තීරණය කළා මේ සංස්කෘතිය වෙනස් කරලා ලෝකයට කාන්තා වීරවරියන් හඳුන්වා දෙන්න.'

දරුවන්ට සිය ජීවිතයේ ක්‍රියාකාරකම් කෙසේ සිදු කළ යුතුදැයි උපදෙස් ලබා දීමට වඩා යෝජනා ඉදිරිපත් කිරීමෙන් වැඩි අවබෝධයක් තේරුම් ගැනීමක් ඇතිවන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

පුරුෂාධිපත්‍ය රජයන කාන්තාවන්ට සම අයිතීන් නොලැබෙන ඔවුන් තාඩනයට පීඩනයට ලක්වන පරිසරයක කුඩා දරුවන්ට සමානාත්මතාව, සම තැන වැනි ආකල්ප ඉගැන්වීමට සිය සමාගම නිපදවන කාටුන් කතා වල එන පවුල් වල පිරිමින් මුළුතැන්ගේ වැඩ කටයුතු කිරීම ගෙදර දොර වැඩ වලට උපකාර කිරීම වැනි දර්ශන පෙන්වීම ඉතා පලදායි ඉගැන්වීමේ ක්‍රම වන බවයි ඇයගේ අදහස.