මියන්මාර මැතිවරණයෙන් පසු 'බල අරගලයක' ලකුණු

Image copyright AP

මියන්මාරයේ වසර පනහකට වැඩි කාලයක් පැවති හමුදා පාලනයේ සහය ලබන ආණ්ඩුව බිඳ දැමීමට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවක් ලැබෙන මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය මේ වන විට අවසන් වී තිබේ.

අද (ඉරිදා) සවස් භාගයේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙනු ඇති බවයි මියන්මාරයෙන් වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සම්පූර්ණ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට කිහිප දිනක් ගත වනු ඇති.

ඡන්ද දායකයන්ගෙන් 80% ක් මෙවර මැතිවරණයේ දී සිය ඡන්දය භාවිතා කරනු ඇති බවටයි ඡන්ද ප්‍රකාශයට පෙර අනාවැකි පල කෙරුණේ.

Image copyright Reuters

අද දිනයේ දී මියන්මාරයේ පිහිටුවා තිබූ ඡන්ද පොළවල් වල පෙළ ගැසුණු ඡන්ද දායකයන් ඉතා ඉවසීමෙන් සහ සාමකාමීව සිය ඡන්දය ප්‍රකාශ කරනු දක්නට ලැබුණු බවයි පැවසෙන්නේ.

අවුං සාන් සුචි ගේ නායකත්වයෙන් තරඟ වදින විපක්ෂයේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය ඉරිදා පැවැත්වෙන මැතිවරණයෙන් ජය ගනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.

කෙසේ වෙතත් මියන්මාරයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හමුදා පාලනයට පාර්ලිමේන්තුවේ සියයට විසිපහක බලය මැතිවරණයකින් තොරව හිමිවන බැවින් අවුං සාන් සුචිට ආණ්ඩුවක් පිහිටුවීමට පවතින්නේ අඩු ඉඩකඩකි.

Image caption බීබීසි බුරුම අංශයේ ප්‍රධානී තින් හතා ස්වේ

බීබීසි බුරුම අංශයේ ප්‍රධානී තින් හතා ස්වේ සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින් මියන්මාර මැතිවරණය සහ පාලන බලය සම්බන්ධයෙන් ඇයගේ අදහස් පල කකරමින් කියා සිටියේ “ඇය මැතිවරණය දිනුවොත් ඇයට පුළුවන් ආණ්ඩුව පිහිටවන්න. ඒ වගේම ඇයට පුළුවන් ආණ්ඩුවට නායකත්වය දෙන්න. මියන්මාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇයට බැහැ ජනාධිපති ධුරයට පත් වෙන්න නමුත් ඇය කියල තියෙනවා ජනාධිපතිට ඉහල තනතුරක් විදිහටයි ඇය ආණ්ඩුව මෙහෙයවීම කරන්නේ කියලා. එතකොට සිය පක්ෂයේ නායිකාව සහ ආණ්ඩුවේ නායිකාව ලෙසයි ඇය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ තනතුර ඇය විසින් ඇය වෙනුවෙන් නිර්මාණය කර ගත්තක් වෙනවා.” යන්නයි.

ජනාධිපතිට ඉහල තනතුරක්

කෙසේ වෙතත් මියන්මාරයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හමුදා පාලනයට පාර්ලිමේන්තුවේ සියයට විසිපහක බලය මැතිවරණයකින් තොරවම හිමිවන බැවින් අවුං සාන් සුචිට ආණ්ඩුවක් පිහිටුවීමට පවතින්නේ අඩු ඉඩකඩක්දැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට ඇය පිළිතුරු සැපයුවාය.

Image copyright EPA

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට ඉහලින් බලතල පැවරුන හමුදා කවුන්සිලයක් තියෙනවා. මේ වෙනකොට එම හමුදා කවුන්සිලයෙන් තමයි රටේ බලය මෙහෙයවන්නේ. ඉතින් මම දන්නේ නැහැ මේක කොහොම ක්‍රියාවට නන්වයිද කියලා, ඇය ආණ්ඩුවේ මුල්තැන හොබවනවා නම් ජනාධිපතිටත් ඉහලින් ඉඳගෙන ඇයටත් හිමිවෙනවා, රට ගැන සියලුම පාලන තීරණ ගැනීමේ බලයක්, ඇයටත් පුළුවන් වෙනවා රටේ හදිසි නීතිය ප්‍රකාශ කරන්න. මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ හමුදා පාලනයට වැඩි බලතල හිමිවෙන විදිහටයි. ඉතින් ඇය ආණ්ඩුවේ ඉහලම ස්ථානයේ පාලන බලය හිමි කරගත්තොත් බල අරගලයක් ඇති වේවී හමුදා කවුන්සිලය සහ ඇය අතර රටේ ඉහලම පාලන බලය හිමි කාටද කියන ඒක ගැන” යනුවෙන් තින් හතා ස්වේ මියන්මාරය ඉදිරියේ ඇති අභියෝග පැහැදිලි කළාය.