තහනම් උත්තේජන වාර්තා යට ගැසීමට අල්ලස්

Image copyright Getty

ලන්ඩනයේ ඔලිම්පික් උළෙල නිමා වී තුන් වසරක් ගත වෙද්දී ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු බලධාරීන් කිහිප දෙනෙකුට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

තහනම් උත්තේජන ඖෂධ ලබා ගත් ක්‍රීඩකයන් ගේ වෛද්‍ය වාර්තා යට ගැසීම සඳහා අල්ලස් ලබා ගෙන ඇති බවට ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපතිවරයාට සහ තහනම් උත්තේජන පරීක්ෂක මණ්ඩලයේ ප්‍රධාන වෛද්‍යවරයාට එරෙහිව පරීක්ෂණ ආරම්භ වීමට නියමිතයි.

Image copyright Getty

බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්වකට අනුව ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති ලමීන් ඩියාක් ලබා ගෙන ඇති අල්ලසේ වටිනාකම යුරෝ මුදලින් මිලියනයක්.

තහනම් උත්තේජන පරීක්ෂක මණ්ඩලයේ ප්‍රධානී වෛද්‍ය ගේබ්‍රියෙල් ඩොලේ යූරෝ දෙලක්‍ෂයක අල්ලසක් ලබා ගෙන ඇති බවද වාර්තා කර තිබේ.

තහනම් උත්තේජන භාවිතා කිරීම නිසා 2011 දී තරඟ තහනමකට ලක් කළ යුතු බවට බලධාරීන් විසින් රෙකමදාරු කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු 2012 ඔලිම්පික් තරඟාවලියට ද සහභාගී වී ඇති බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ.

Image copyright Getty
Image caption ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති ලමීන් ඩියාක්

මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ප්‍රංශ පොලිසිය ආරම්භ කර ඇති අතර ඊට සම්පුර්ණ සහාය ලබා දෙන බව වත්මන් සභාපතිවරයා ප්‍රකාශ කරයි.

ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපතිවරයාගේ පුත්‍රයාට ද මේ වන විට විෂමාචාර චෝදනා එල්ල වී තිබේ.

ඔහු ලෝක ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.