මියන්මාර් මැතිවරණය - විපක්ෂ නායිකා සූචී ඉදිරියෙන්

මියන්මාරයේ මහ මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අත් කර ගෙන ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි විපක්ෂ නායිකා අවුන් සාන් සූචී ප්‍රකාශ කරයි.

මේ වන විට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵල වලට අනුව පෙන්නුම් කරන්නේ අවුන් සාන් සූචී ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට විශිෂ්ට ජයක් හිමි වන බවයි.

නමුත් තවත් දින කිහිපයක් ගත වන තුරු නිල ප්‍රතිඵල දැන ගත නොහැකියි.

වසර 25 කට පසු පැවැත්වෙන මෙම මහ මැතිවරණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී එකක් ලෙසටයි සැලකෙන්නේ.

Image copyright AP

බීබීසියේ ෆගල් කීන් (Fergal Keane) සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අවුන් සාන් සූචී පැවසුවේ මැතිවරණය සාධාරණ එකක් නොවුනත් පුළුල් ලෙස එය නිදහස් මැතිවරණයක් ලෙස පැවැත්වුන බවයි.

ජනතාව අඩන් තේට්ටම් වලට ලක්වූ ප්‍රදේශ දක්නට ලැබුන බවයි ඇය ප්‍රකාශ කළේ.

මියන්මාර් පාර්ලිමේන්තුවේ ආසන 664 ක්. ඉන් හතරෙන් එකක් යුද හමුදාව සඳහා වෙන් කොට ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට බහුතර ඡන්ද බලයක් ලබා ගැනීමට නම් සෙසු ආසන සංඛ්‍යාවෙන් අඩු වශයෙන් තුනෙන් දෙකක් අත් කර ගැනීමට සිදු වේ.

අවුන් සාන් සූචී පවසන්නේ ඇගේ පක්ෂය එම සීමාව පසු කර ඇති බවයි.

ආසන සංඛ්‍යාවෙන් සියයට 75 ක ජය තමන්ට ලැබී ඇති බවයි ඇය පැවසුවේ.

“ප්‍රතිපල නොකඩවා ගලා ගෙන එනවා. සමහර විට පාර්ලිමේන්තු ආසන සංඛාවෙන් සියයට හැත්තෑවක් විතර අපට ලැබේවි. රජයක් පිහිටුවීමට අවශ්‍යවන්නේ ආසන ප්‍රමාණයෙන් සියයට 67 ක් පමණයි”

Image copyright BBC Chinese

යුද හමුදාවේ සහය ලබන සහයෝගිතා සංවර්ධන සාංගමික පක්ෂය 2011 සිට මියන්මාරයේ පාලන බලයේ රැඳී සිටී.

දශක ගණනාවක යුද හමුදා පාලනයෙන් පසු රට සිවිල් පාලනයකට පරිවර්තනය වෙමින් තිබෙන අවස්ථාවකදීයි, ඔවුන්ට පාලන බලය හිමි වුණේ.

අවුන් සාන් සූචී සිටින්නේ තම ආත්ම විශ්වාසය පිරී ඉතිරී යමින් තිබෙන අවස්ථාවක. ඇය, තම කාලය උදාවී ඇතැයි ඉතා තදින් ප්‍රත්‍යක්ෂ වී සිටින නායිකාවක්.

Image copyright AFP Getty

දීර්ඝ කාලයක් මුළුල්ලේ රට පාලන කළ මිලිටරි පාලනය, ඇයට රජයක් පිහිටුවීමට ඉඩ ලබා දේවිද? ඇය ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නේද?

“ඔවුන් දිගින් දිගටම කියා සිටියේ ජනතාවගේ තීන්දුවට ගරු කරන බව. ඒ වගේම මැතිවරණයේ ප්‍රතිඵලය ක්‍රියාවට නංවන බව,” ඇය පිළිතුරු දුන්නාය.

අවුන් සාන් සූචී මැතිවරණය ජයග්‍රහණය කලත් ව්‍යවස්ථාවෙන් පනවා ඇති කොන්දේසි අනුව ඇයට ජනාධිපතිධුරයට පත් විය නොහැකියි.

එහෙත් දිගින් දිගටම ඇය පවසන්නේ තම සගයෙකු විසින් ජනාධිපතිධුරය හොබවන අතරතුර තමා තිරයෙන් පිටි පස සිට ප්‍රධාන තීරණ ගන්නා බවයි.

බීබීසී වාර්තාකරු ඇය සමඟ සාකච්ඡාවකට එක් වුණේ වසර 15 ක් ඇය නිවාස සිර අඩස්සියේ තබා සිටි ගෙවත්තේ සිටයි. එසේම ඔහු විසි වසරකට පෙර පළමු වරට ඇය හා සම්මුඛ සාකච්ඡාවක යෙදුනේත් මෙහිදියි.

කාලය වෙනස් වෙලා මිනිසුන් වෙනස් වෙලා, ඇය ප්‍රකාශ කරන්නීය.

“ජනතාව විශාල ලෙස දේශපාලන වශයෙන් ශක්තිමත් වෙලා හිටියට වැඩිය. මොනවද සිද්ධ වන්නේ කියන එක ගැන ඔවුන් හොඳ විපරමකින් ඉන්නේ. ඇත්ත වශයෙන් ඒකට හේතුව සන්නිවේදන තාක්ෂණයේ පරිවර්තනය. විශාල වෙනසක් ඇතිවෙලා තියෙනවා. ජනතාව අන්තර් ජාලයෙන් තොරතුරු සොයා ගෙන ඒවා හුවමාරු කරගන්නවා. ඒ නිසා අක්‍රමිකතා සිදු කරන අයට ඒවා කරන්න ඉතාමත්ම අමාරුයි”