මැතිවරණයෙන් අවුං සාන් සූචීට අති විශිෂ්ට ජයක්

Image copyright AFP

වසර විසිපහකට පසු මියන්මාරයේ පැවති වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී මහ මැතිවරණයෙන් අවුං සාන් සූචී ගේ නායකත්වයෙන් තරග වැදුණු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය අති විශිෂ්ට ජයක් හිමි කර ගෙන තිබේ.

ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගෙන ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයට මියන්මාරයේ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව හිමි වෙයි.

ජයග්‍රාහී පක්ෂයට ජනාධිපති ධුරයට පුද්ගලයකු පත් කර ගැනීමේ හැකියාව ව්‍යවස්ථාවෙන් හිමි වුවත් පක්ෂ නායිකා අවුං සාන් සූචීට එම අවස්ථාව හිමි වන්නේ නැත.

Image copyright EPA

ඇයගේ දරුවන් බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර මියන්මාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදෙස් ජාතිකයන් සිය පවුලේ සාමාජිකයන් වන කිසිම පුද්ගලයෙකුට මියන්මාර ජනාධිපති ධුරය හෙබවීමේ අයිතියක් නොමැත.

මෙම නීතිය වෙනස් කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයක් පවා ගෙන ඒමේ හැකියාව වළකමින් පාර්ලිමේන්තුවේ අනිවාර්ය 25% බලය හමුදා පාලනයට හිමි වන අතර ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි වෙමින් වීටෝ බලය භාවිත කිරීමට ඔවුන්ට හැකියාව තිබේ.

1990 මියන්මාරයේ පැවති මැතිවරණයෙන් ද අවුං සාන් සූචි ජයග්‍රහණය කළ නමුත් එය අවසන් වූයේ හමුදා පාලනය විසින් ඇයව වසර පහළොවක් දක්වා නිවාස අඩස්සියේ තැබීමෙනි.