අගමැති මෝඩි වෙම්බ්ලි පාපන්දු පිටියේ

Image caption මෝඩි පිළිගැනීමට සැරසෙන ඉන්දියානුවන්

දින තුනක බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වෙමින් සිටින ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි අද (12) බ්‍රිතාන්‍යවාසී ඉන්දියානු ජනතාව අමතා කතා කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය වේලාවෙන් අද සවස පැවැත්වීමට නියමිත එම දේශනයට සවන් දීම සඳහා එය පැවැත්වෙන ලන්ඩන් නගරයේ වෙම්බ්ලි පාපන්දු ක්‍රීඩාංගනයට දස දහස් ගණනක් ජනතාව එක්රැස් වී සිටිති.

එම ජනයාගෙන් බහුතරය බ්‍රිතාන්‍යවාසී ඉන්දියානුවන් සහ ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියන් බවයි වාර්තාකරුවන් පවසන්නේ.

මෝඩි ගේ කථාව පැවැත්වෙන වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ අද රාත්‍රියේ ගිණි කෙලි සංදර්ශනයක් සහ සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම උත්සවය වෙනුවෙන් වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ අද එළවලු මගින් පමණක් පිළියෙළ කෙරුන ආහාර සැපයීමට පියවර ගැනීම තවත් විශේෂත්වයකි.

අගමැති මෝඩි ගේ බ්‍රිතාන්‍ය සංචාරයේ දෙවැනි දිනය අදයි.

අගමැතිවරයා අද දහවල් ආහාර ගනු ලැබුනේ එලිසබත් රැජින සමඟයි.

ඔහු ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා කතා කළේය.