IS කැරලිකරුවෝ පැරිස් ප්‍රහාරයේ වගකීම භාර ගනිති

Image copyright Getty

පැරිස් ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් භාර ගන්නා බව පැවසෙන ප්‍රකාශනයක් එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇත.

පැරිස් නගරයේ දී එල්ල කෙරුණ ප්‍රහාරය IS ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇති යුද්ධයේ තවත් ප්‍රහාරයක් වන හැටියට ප්‍රංශ ජනාධිපති ෆ්‍රාන්ෂුවා ඔලෝන්ඩ් මෙයින් ස්වල්ප වෙලාවකට පෙර විග්‍රහ කළේය.

ජන මාධ්‍ය සඳහා කරුණු පැහැදිලි කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා කියා සිටියේ රටතුළ ද උදව් ඇතිව විදේශයන්හි දී ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි.

පැරිස් නගරය තුළ ස්ථාන කිහිපයක දී සිදු වූ වෙඩි තැබීම් සහ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 128 ක් බව නවතම වාර්තාවලින් දැක්වෙයි.

Image copyright Getty

මේ අතරින් දරුණුතම ප්‍රහාරය වන සංගීත ප්‍රසංගයක් පැවතී රඟහලකට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් 80 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරා ගෙන මැරෙන ප්‍රහාරකයන්

පොලිසිය සිද්ධිය වූ ස්ථානය වෙත දිව එද්දී ප්‍රහාරකයන්ගෙන් තිදෙනෙකු තමන් ඇඳ සිටි උඩු කබාය තුළ වූ බෝම්බ පුපුරුවා ගනිමින් සිය දිවි නසා ගත් අතර සතරවැන්නා වෙඩි ප්‍රහාරයේ දී මරණයට පත් වූ බවයි වාර්තා වන්නේ.

එයට පෙර තුවක්කුකරු අසළ වූ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේ තවත් ජීවිත විනාශයක් සිදුව ඇත.

සෙසු ප්‍රහාරකයන් පැරිස් ජාතික ක්‍රීඩාංගණයට පිටතින් බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ වන විට එහි ප්‍රංශය සහ ජර්මනිය අතර පාපන්දු තරඟයක් පැවත්වෙමින් තිබුණි.

බලධාරීන් පවසන ආකාරයට ප්‍රහාරකයන් අතරින් අට දෙනෙකු මියගොස් ඇති අතර ඉන් හත් දෙනෙකුම මරා ගෙන මැරෙන ප්‍රහාරකයන් බවයි වාර්තා වන්නේ.

හදිසි නීතිය

Image copyright AFP

ප්‍රංශය තුළ මේ වනවිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර පැරිස් නගරයේ සංවිධානය කර තිබුණ ක්‍රීඩා තරඟ අතුලුන් සියලු උත්සව අවලංගු කරනු ලැබ ඇත.

පැරිස් උමං දුම්රිය මාර්ග පද්ධතියේ ඇතැම් ගමන් මාර්ග නතර කොට ඇති බවත් වාර්තා වෙයි.

පාසල් සහ සරසවි විවෘත නොකරන ලෙසත් බලධාරීන් විසින් නියෝග කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

පොදු ආයතන සහ ආණ්ඩුවේ කාර්යාල බොහොමයක් වසා දමනු ලබා තිබෙනවා.

පැරිස් නගරයෙන් පිටත පිහිටි ‘ඩිස්නිලන්ත’ විනෝද උයන විවෘත නොකරන බවත් ප්‍රකාශයට පත් කොට ඇත.

මේ වන විට ප්‍රංශය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.