ලෝක නායකයෝ පැරිස් ප්‍රහාරය හෙළා දකිති

Image copyright Reuters

පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව යුරෝපයේ රටවල් ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර බෙල්ජියමේ බලධාරීන් පැරිස් ප්‍රහාරයට හවුල් පුද්ගලයන් සෙවීමේ මෙහෙයුමක් බ්‍රසල්ස් නගරයේ ආරම්භ කර තිබුණි.

බෙල්ජියමේ ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගත් බවයි.

නීතිවිරෝධී අවි ආයුධ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ජර්මනියේ බැවෙරියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකු ප්‍රංශ ප්‍රහාර වලට සම්බන්ධයක් ඇති බවට සැක කරන බවයි බලධාරීන් පවසන්නේ.

ප්‍රංශ ජනතාව සමඟ

ලෝකයේ ප්‍රධාන රටවල් රාශියක නායකයන් විසින් පැරිස් ප්‍රහාරය හෙළා දකිමින් නිවේදන නිකුත් කරනු ලැබ ඇත.

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි ශෝකය පළ කරන අතරවාරයේ කියා සිටියේ ‘එක්සත් ජනපද ජනතාව ප්‍රංශ ජනතාව සමඟ අතින් අත බැඳී මේ මොහොතේ පෙනී සිටින’ බවයි.

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් පැරිස් ප්‍රහාරය හෙළා දුටුවේ ‘එය ත්‍රස්තවාදී ම්ලේච්ඡත්වයේ කුරිරු ලක්‍ෂණය’ වන බව ප්‍රකාශ කරමිනි.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේ දී මොස්කව් පාලනය ප්‍රංශයත් සමඟ කිට්ටු සහයෝගයෙන් කටයුතු කරන බවයි ජනාධිපති පුතින් පවසන්නේ.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැරිස් ප්‍රහාරය හෙළා දුටුවේ ‘එය මධ්‍යතන අවධියේ ම්ලේච්ඡ ප්‍රහාරයක ලක්ෂණ ඇතුළත් නූතන ෆැසිස්ට් ප්‍රහාරයක්’ හැටියට විග්‍රහ කරමින්.

එකමුතුව පෙනී සිටිමු

Image copyright AP

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් විසින් ද ප්‍රහාරය හෙළා දකිනු ලැබ ඇත.

අන්තවාදීන් ගේ ප්‍රහාර වලට එරෙහිව යුරෝපීය සාරධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා සියරට ප්‍රංශයත් සමඟ එකමුතු වෙන බවයි ජර්මන් චාන්සලර්වරිය කියා සිටින්නේ.

චීන ජනාධිපති ෂි ජින්පින් නිවේදනයක් නිකුත් කරමින් සියරටේ ශෝකය පළ කරන අතරවාරයේ ප්‍රංශ ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ ත්‍රස්තවාදය මැඩලීමට ගෙන යන සටන සඳහා දෙන සහයෝගය තවත් තීව්‍ර කරන බවයි.

පැරිස් ප්‍රහාරය නින්දිත අධම ප්‍රහාරයක් වන බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් පවසන්නේ.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ නායකයන් විසින් ද පැරිස් ප්‍රහාරය හෙළා දකිනු ලැබ ඇත.