පැරිස් ප්‍රහාරය: බෙල්ජියමේදී හත් දෙනෙකු අල්ලයි

Image copyright AP

සිකුරාදා පැරිසියට එල්ල වූ වෙඩි සහ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බෙල්ජියම පවසයි.

ප්‍රහාරය සිදු කෙරෙන අවස්ථාවේ දී මරා දමන ලද ප්‍රංශ ජාතික ප්‍රහාරකයන් දෙදෙනා බ්‍රසල්ස් නුවර සිට පැමිණ ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මෙම ප්‍රහාරයට යොදා ගත් බව කියන දෙවැනි මෝටර් රථයත් සොයා ගෙන ඇති අතර ඒ තුළ තිබී ඒ කේ 47 වර්ගයේ රයිෆල් තුවක්කු කිහිපයක් සොයා ගෙන ඇති බවයි ප්‍රංශයෙන් වාර්තා වන්නේ.

Image copyright Reuters
Image caption ප්‍රහාරයට ගොදුරු වූ අයෙක්

මේ අනුව, ප්‍රහාරකයන් කිහිප දෙනෙකු පලා යාමට සමත් වී ඇති බවට සැක පහල වී තිබේ.

සිකුරාදා පැරිසියට එල්ල වූ ප්‍රහාර මාලාවෙන් 129 දෙනෙකු මරණයට පත් වූ අතර තුවාල ලබා ඇති පිරිස 350 කට ආසන්නයි.