'ප්‍රංශයට රසායනික අවි ප්‍රහාරයක අවදානමක්'

Image copyright AFP
Image caption ප්‍රංශ අගමැති මැනුවෙල් වාලස්

ත්‍රස්තවාදී කණ්ඩායම් ප්‍රංශයට රසායනික අවි හෝ ජෛව අවි භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇති බව එරට අගමැති මැනුවෙල් වාලස් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පැරීසියට එල්ල කෙරුණු ප්‍රහාර මාලාව හේතුවෙන් පනවන ලද හදිසි නීතිය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමේ පාර්ලිමේන්තු විවාදයකට එක් වෙමිනි.

මේ අතර බෙල්ජියම් පොලිසිය බ්‍රසේල්ස් නුවර පිහිටි පැරිස් ප්‍රහාරයට සම්බන්ධ බිලාල් හද්ෆි සහ සලාහ් අබ්දෙස්ලම් යන ප්‍රහාරකයන් දෙදෙනාට අයත් දේපළ වල වැටලීම් සිදු කිරීමේ යෙදී සිටිති.

Image copyright Getty

පැරීසියේ ඊයේ (බදාදා) සිදු කරන ලද පොලිස් ප්‍රහාර වලදී පැරිස් ප්‍රහාරය සැලසුම් කරන ලද පුද්ගලයා මරා දැමුනාද යන්න තවමත් පැහැදිලි නැත.

බෙල්ජියම් පොලිසිය විසින් සිදු කරනු ලබන බොහෝ වැටලීම් ප්‍රංශ ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවකු වූ ප්‍රංශ ජාතික බිලාල් හද්ෆිට සම්බන්ධ බෙල්ජියමේ දේපළ ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන බවයි RTBF පුවත් සේවය වාර්තා කළේ.

දහ තුන් වැනි සිකුරාදා පැරීසියට එල්ල කෙරුණු ප්‍රහාර මාලාවෙන් එකසිය විසි නම දෙනකු ඝාතනය කෙරිණි.