බොන්ඩ් සිනමාවේ සිප ගැනීම් - ඉන්දියාවේ වාරණයට

Image copyright Twitter

‘ස්පෙක්ටර්’, නව ජේම්ස් බොන්ඩ් සිනමා පටයේ ඇති දීර්ඝ සිප ගැනීමේ දර්ශන සිය ප්‍රේක්ෂකයන්ට සුදුසු නොවන බව පවසමින් ඉන්දියාවේ සිනමා වාරණ මණ්ඩලය විසින් එම දර්ශන කප්පාදු කර ඇත.

හෙට (සිකුරාදා) ඉන්දියාවේ තිරගත කිරීම ආරම්භ වන නව ජේම්ස් බොන්ඩ් සිනමා පටයේ සිප ගැනීමේ දර්ශන දෙකක් මුම්බායි නගරයේ මධ්‍යම සිනමා වාරණ මණ්ඩලය විසින් සංස්කරණය කොට තිබේ.

Image copyright PA

සිනමා වාරණ මණ්ඩලය පවසන්නේ ඉන්දියාවේ තිර ගත කෙරෙන සිනමා පට සම්මත ප්‍රේක්ෂක නියම වලට අනුකූල බව සහතික කිරීමකින් තොරව මහජනයාට ප්‍රදර්ශනය කළ නොහැකි වීම මෙම තීරණයට හේතුව බවයි.

ඉන්දීය සම්මත ප්‍රේක්ෂක නියම වලට අනුව වයස අවුරුදු දොළහට අඩු දරුවන්ට නැරඹීමට සුදුසු වන ලෙස සිනමා පටය නිර්මාණය වී තිබිය යුතුයි.

‘සෝනි පික්චර් එන්ටර්ටෙයින්ට්මන්ට්’ ආයතනය විසින් ජේම්ස් බොන්ඩ් සිනමා පටය ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන අතර සිනමා වාරණ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සංස්කරණ තත්පර කිහිපයක කපා දැමීම් වන බවයි ඔවුන් පවසන්නේ.

Image copyright Twitter

අනුරාගී දර්ශන සහ ආගම් විරෝධී තේමා ඇතුළත් සිනමා නිර්මාණ තහනම් කිරීම සහ දර්ශන සංස්කරණයට ලක් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සිනමා වාරණ මණ්ඩලයට දීර්ඝ ඉතිහාසයක් ඇත.

සිනමා නිර්මාණ කරුවන් කියා සිටින්නේ ඉන්දීය සිනමා වාරණ මණ්ඩලය ඔවුන්ගේ පිළිගැනීම් සහ මත වාදයන්ට එකඟ නොවන නිර්මාණ නොඉවසන බවයි.

ඉන්දීය සිනමා වාරණ මණ්ඩලයේ මෙම තීරණය සම්බන්ධයෙන් ට්වීටර් වෙබ් අඩවියේ සහ අනෙකුත් සමාජ මාධ්‍ය වල විශාල කතිකාවක් ආරම්භ වී තිබේ.