අවසන් පැරිස් ප්‍රහාරකයා සොයා බෙල්ජියමේ දැවැන්ත මෙහෙයුම්

Image copyright EPA

ත්‍රස්තවාදී සැක කරුවන් සොයා දින දෙකක් මුළුල්ලේ බෙල්ජියමේ ඉතා දැඩි ආරක්ෂක රැකවල් යටතේ ගෙන යන මෙහෙයුම් බ්‍රසෙල්ස් නුවර මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.

බෙල්ජියම් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ පැරීසියේ ප්‍රහාර මාලාවේ සැලසුම් කරුවකු වූ සලාහ් අබ්දෙස්ලාම්ට වඩා වැඩි තර්ජනයක් මේ වන විට ත්‍රස්තවාදී සැක කරුවන්ගෙන් සිය රටට එල්ල වී ඇති බවයි.

මේ අතර පැරිස් ප්‍රහාරක සලාහ් අබ්දෙස්ලාම්ට පොලිසියට පැමිණ භාර වන මෙන් ඔහුගේ සොහොයුරා අයැද සිටින බව පොලිසිය පවසයි.

Image copyright pa
Image caption පැරීසියේ ප්‍රහාර මාලාව සැලසුම් කරුවකු වූ සලාහ් අබ්දෙස්ලාම්

ප්‍රහාරකයාගේ සොහොයුරා පැරිස් ප්‍රහාරයට සහභාගී වීමට නියමිතව සිටි නමුත් අවසන් මොහොතේ සිය අදහස වෙනස් කර එම ප්‍රහාර වලට සම්බන්ධ නොවීමට තීරණය කළ පුද්ගලයකු වන බවත් පොලිසිය තොරතුරු හෙළි කර ගැනීමට සමත් වී ඇත.

දැඩි ආරක්ෂක රැකවල්

බ්‍රසෙල්ස් නුවර තවමත් දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර දුම්රිය සේවය ක්‍රියාත්මක නොවේ.

බෙල්ජියම් පොලිසිය විසින් මහජනතාවට නිවේදනයක් නිකුත් කරමින් උපදෙස් දී තිබෙන්නේ හැකි පමණ ජනතාව රැස් වන අවස්ථා වලට සහභාගී වීමෙන් තොරව නිවෙස් වලට වී සිටින ලෙසයි.

Image copyright EPA

බ්‍රසෙල්ස් හි ජීවත් වූ විසි හය හැවිරිදි ප්‍රංශ ජාතික සලාහ් අබ්දෙස්ලාම් අල්ලා ගැනීමේ අරමුණෙන් නගරය පුරා හමුදා බටයන් සහ පොලිස් කණ්ඩායම් මෙහෙයුම් වල යෙදෙමින් සිටිති.

පොලිසිය විසින් ප්‍රකාශයක් කරමින් සලාහ් අබ්දෙස්ලාම් පිළිබඳ සාමාන්‍ය ජනතාවට විස්තරයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඔහු ආයුධ සන්නද්ධව සිටින ඉතා භයානක පුද්ගලයකු බවයි.