එල්ටීටීඊ තහනම දිගටම - ආණ්ඩුව

Image copyright Getty
Image caption 'බෙදුම්වාදය පැතිරවීම සඳහා අඛණ්ඩව ක්‍රියාකරමින් සිටින ආයතන 8ක් සහ පුද්ගලයන් 157 දෙනෙක් තවදුරටත් තහනමට'

එල්ටීටීඊ සංවිධානය ඇතුළු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් තහනම් කරමින් පණවනු ලැබ තිබුණු තහනම තවදුරටත් දීර්ඝ කරන ලද බව ආණ්ඩුව පවසයි.

'බෙදුම්වාදය පැතිරවීම සඳහා අඛණ්ඩව ක්‍රියාකරමින් සිටින ආයතන 8ක් සහ පුද්ගලයන් 157 දෙනෙක් තවදුරටත් තහනමට අයත් විය යුතු' යයි තීන්දු කොට ඇති බවයි, විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

වෙනත් දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8 කට පනවා තිබූ තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්.

1968 එක්සත් ජාතීන්ගේ පනත් අංක 45 යටතේ ඇති බලතල ප්‍රකාරව 2014 මාර්තු 21 වන දින අති විශේෂ ගැසට් අංක 1854/41 යටතේ ශ්‍රී ලංකා රජය විසින් සංවිධාන 16ක් හා පුද්ගලයන් 424 දෙනෙක් තහනමට ලක්කරන ලදි.

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට දින 8 ක් තිබියදී කෙටි කාලයක් තුළ එම සංවිධාන තහනමට ලක් කොට තිබෙන්නේ ඇගයීමේ හා සනාථ කිරීමේ නිසි ක්‍රියාදාමයකින් තොරව බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

"ලැයිස්තු ගත කර තිබූ ආයතන බොහොමයක් ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට කිසි දින යොමු වී නැත. තහනමට ලක් කරන විට ඇතැම් පුද්ගලයන් ජීවතුන් අතර නොසිටි අතර ඉන් එක් පුද්ගලයකු තහනමට ලක් වූ දිනට වසර 8 කට පෙර මිය ගොස් සිටියේය," විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයේ සඳහන්.

'බුද්ධි අංශ වාර්තාවක්'

2012 දී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද එක්සත් ජාතීන්ගේ රෙගුලාසි අංක 1 මගින් මෙසේ තහනමට ලක් කරන ආයතන ලැයිස්තුව වසරකට වරක් වත් සමාලෝචනය කිරීමට හා යාවත්කාලීන කිරීමට උපදෙස් දී ඇත.

නව රජය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට කටයුතු කරන අතර ඒ අනුව මෙම ලැයිස්තුව යාවත්කාලීන කිරීම සඳහා ක්‍රමානුකූල සමාලෝචන ක්‍රියාවලියක් අනුගමනය කළ බවයි, ආණ්ඩුව පවසන්නේ.

පසුගිය මාස 6ක කාලය තුළ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා බුද්ධි අංශ විසින් මෙම තහනමට ලක් කළ ආයතන හා පුද්ගලයන් පිළිබඳ පුළුල් ලෙස සමාලෝචනයක් සිදු කළ බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්.

''එම සමාලෝචන ක්‍රියාවලිය අවසානයේ නිගමනය වූයේ එහි සඳහන් ආයතන 8ක් සහ පුද්ගලයන් 267 දෙනෙකු සම්බන්ධයෙන් තහනමට ලක්කිරීම සඳහා පිළිගත හැකි සාක්ෂී නොමැති බවයි. ඒ අනුව, බෙදුම්වාදය පැතිරවීම සඳහා අඛණ්ඩව ක්‍රියාකරමින් සිටින ආයතන 8ක් සහ පුද්ගලයන් 157 දෙනෙක් තවදුරටත් මෙම තහනමට අයත් විය යුතු බවට වැඩිදුරටත් තීරණය විය.''

ඉහත කී සමාලෝචනයේ ප්‍රතිඵලයක් ලෙස, සැබෑ තර්ජනයන් මැඩපවත්වා ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව ඉහල නංවනු වස් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන හා බුද්ධි අංශ සේවාවලට තම පූර්ණ අවධානය හා ශක්තිය යෙදවීමට හැකි වී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර