ව්‍යවස්ථා විරෝධී උද්ඝෝෂකයන් සිව් දෙනෙක් මරුට

Image copyright ram sarraff
Image caption නේපාල නව ව්‍යවස්ථාව මගින් තමා නොසලකා හරිනු ලැබ ඇති බවට මධේෂි සුළු ප්‍රජාව චෝදනා කරති

නේපාලයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පැවති උද්ඝෝෂණ අතරතුර විරෝධතාකරුවෝ සිව් දෙනෙක් මරුමුවට පත් වී තිබේ.

මරුමුවට පත් සියලු දෙනා වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙන්නේ නේපාල පොලිසිය හා උද්ඝෝෂකයන් අතර පැවති ගැටුම් අතරතුරදීයි.

විරෝධතාකරුවන් සහ පොලිස් භටයින් රැසක් ගැටුම් හේතුවෙන් තුවාල ලබා තිබේ.

නේපාල නව ව්‍යවස්ථාව මගින් තමා නොසලකා හරිනු ලැබ ඇති බවට මධේෂි සුළු ප්‍රජාව චෝදනා කරති.

මාස දෙකක කාලයක සිට ඔවුහු ඉන්දු නේපාල දේශ සීමා අතර සිදු වන රථවාහන ගමනාගමනයට බාධා එල්ල කරමින් සිටිති.

ඉන්දියාවට චෝදනා

Image copyright Getty
Image caption දේශ සීමා හරහා සිදු වන ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති බැවින් නේපාලය ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණ දී තිබේ

ඉන්දීය දේශ සීමාව ආසන්නයේ වෙසෙන මධේෂි ජනතාව ඉන්දීය සංස්කෘතියට බොහෝ සෙයින් නෑකම් කියති.

දේශ සීමා හරහා සිදු වන ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති බැවින් නේපාලය ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකට මුහුණ දී තිබේ.

මධේෂි ජනතාවට සහාය ලබා දෙමින් ඉන්දියාව සිතාමතාම පවතින තත්වය උග්‍ර කිරීමට අනුබල දෙන බවට නේපාලය ඉන්දියාවට චෝදනා කරයි.

ඉන්දියාව එම චෝදනා ප්‍රතික්ෂේප කොට තිබේ.