රට හැර යාමට පවා බිරිඳ යෝජනා කළා -අමීර් ඛාන්

Image copyright SPICE

ඉන්දියාවේ භාෂණයේ නිදහස ‘නොඉවසීමට’ එරෙහිව මතු වෙමින් පවතින විරෝධතාවට බොලිවුඩයේ සුපිරි නළු අමීර් ඛාන් එක් වී සිටියි.

ඉන්දීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මාන උළෙලකදී අදහස් දැක් වූ අමීර් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ ‘පසුගිය මාස හයත් අටත් අතර කාලය තුළ’ අන් අදහස් නොඉවසීමේ ප්‍රවනතාවය මත සිදු වූ ක්‍රියාකාරකම් නිසා තමා ‘චකිතයකට’ පත් වූ බවයි.

Image caption අමීර් ඛාන්ගේ බිරිඳ වන කිරාන් රාඕ ද චිත්‍රපට නිෂ්පාදිකාවකි

එවැනි වාතාවරණයක් යටතේ රට හැර යාමට පවා සිය බිරිඳ තමන්ට යෝජනා කළ බවයි අමීර් ඛාන් පවසන්නේ.

වෙනස් විශ්වාස සහ මතවාද ‘නොඉවසීමේ තත්වය' ඉන්දියාව තුළ 'වර්ධනය වෙමින් පවතින’ බව පවසමින් බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද පසුගිය දා එය විවේචනයට ලක් කළේය.

Image copyright AFP

භාෂණයේ නිදහසට එල්ල වන තර්ජන සහ විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වයට විරෝධය පාමින් තමන්ට ලැබුණු සාහිත්‍ය සම්මාන ආපසු භාර දීමට ඉන්දීය ලේඛකයන් කිහිප දෙනෙකු පියවර ගත් අතර එම විරෝධයට විද්‍යාඥයන්, ඉතිහාසඥයන් සහ සිනමාකරුවෝ ද මේ වන විට එක් වී සිටිති.

‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’ පුවත් පත සංවිධානය කළ සම්මාන උළෙලේ දී චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු සහ නිෂ්පාදකවරයෙකු ද වන අමීර් ඛාන් තවදුරටත් සඳහන් කළේ ‘අනාරක්‍ෂිතභාවය’ සහ ‘භීතිය’ දනවන හැඟීම් ඉන්දියාව තුළ වර්ධනය වී ඇති බවයි.

‘කිරාන් (බිරිඳ) සහ මම මුළු ජීවිතේම ගත කලේ ඉන්දියාවේ. පළමු වතාවට ඇය මගෙන් ඇහුවා අපි රට හැර යමුද කියල. ඒක කිරාන්ගෙන් පිට විය හැකි ඉතා අවාසනාවන්ත සහ දැවැන්ත ප්‍රකාශයක්. ඇය දරුවන් ගැන බයෙන් ඉන්නේ. ඇය දිනපතා පුවත්පත් කියවන්නට බයයි.’ අමීර් ඛාන් පැවසූ බව ඉන්දීය පුවත්පතක් වාර්තා කර තිබේ.

නිර්මාණකරුවන් තම සම්මාන ආපසු භාර දීමට පියවර ගැනීම තුළින් රජයේ ක්‍රියාකලාපයන් ගැන ඔවුන්ගේ ඇති නොසතුට සහ කලකිරීම පෙන්නුම් කෙරෙන බවද සුපිරි නළු අමීර් ඛාන් පැවසීය.

පසුගියදා මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුට පහර දී මරා දැමුණේ ගව ඝාතනය සහ ගව මස් ළඟ තබා ගත් බවට හින්දු දැඩි මතධාරීන් චෝදනා එල්ල කිරීමෙන් අනතුරුවයි.